පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම හෙට (17) දහවල් දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද නියම කළේය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරිණි.
එහිදී මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විවෘත අධිකරණයේ ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයට සහභාගී නොවන බවයි.
පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළ ලේඛන තමන් වෙත ලැබුණේ අද පෙරවරුවේ බැවින්, වගඋත්තරකරුවන්ගෙන් මේ දක්වා කිසිදු උපදෙසක් ලැබී නොමැති බවයි. එහෙයින් පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවයි .