ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට, ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලබාදී ඇතිබව වාර්තා වේ .
පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේ එම පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම තුළින් මෙරටින් ජලභීතිකා රෝගය තුරන් කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණ වෙයි .
එමෙන්ම සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සහ දැනට ක්රියාත්මක ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත හා සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත වෙනුවට නව නීතිමය රාමුවක් හඳුන්වාදීම ද ඊට ඇතුළත් වේ.
පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවේදී සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබාදිය යුතු වයස් සීමාව සම්බන්ධයෙන් පවතින පරස්පරතා ඉවත් කිරීමේ අවශ්යතාව කෙරෙහි ද අවධානය යොමුව තිබේ.
වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන, රැකවරණය සලසන හෝ ප්රතිකාර සඳහා උපකාර කරන පුද්ගලයන් එම ක්රියාව හේතුවෙන් සුනඛයන්ගේ නීත්යනුකූල හිමිකරුවන් ලෙස සැලකීම හෝ හිමිකරුවන්ට අදාළ සියලු වගකීම් ඔවුන් මත පැවරීම වැළැක්වීම සඳහා අවශ්ය නීතිමය විධිවිධාන පැහැදිලි කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
සුනඛ වන්ධ්යාකරණය පශු වෛද්ය අධීක්ෂණය යටතේ ශල්යකර්ම මගින් සිදුකිරීමේ වැදගත්කම මෙන්ම
හෝමෝන එන්නත් ඇතුළු විකල්ප ක්රම සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් සත්ව සුබසාධනය තහවුරු කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී ඇත.
මීට අමතරව, සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්රමවේදය විධිමත් කිරීම, ලියාපදිංචි කිරීමේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල් සංශෝධනය කිරීම සහ වාණිජ අභිජනන මධ්යස්ථාන නියාමනය ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබේ.