සෙබළුන්ට හමුදාව එපා වෙයි

අධික වැඩ බර, දීර්ඝ සේවා කාලය සහ හමුදාවෙන් පිටත පවතින වඩා හොඳ රැකියා අවස්ථා ඇතුළු හේතු ගණනාවක් නිසා සන්නද්ධ හමුදා තුළින් පිරිස් ඉවත් වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඩී. සූරියබණ්ඩාර පාර්ලිමේන්තුවෙදී ඊයේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

විදේශ රැකියා සහ අධ්‍යාපන අවස්ථා, සිවිල් ක්ෂේත්‍රයේ වඩා හොඳ රැකියා මෙන්ම තම වෘත්තීය සුදුසුකම් හා කුසලතාවලට වඩාත් ගැලපෙන වෘත්තීන් වෙත යොමුවීමට නිළධාරීන් තුළ ඇති කැමැත්ත ද මෙම ප්‍රවණතාවට බලපාන කරුණු ලෙස නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජයසේකර පෙන්වා දුන්නේය. පෞද්ගලික අංශයේ වැඩි ආදායම් ලැබීමේ අවස්ථා පැවතීම ද තවත් එක් හේතුවක් බව ඔහු පැවසීය.

එමෙන්ම අධික වැඩ බර සහ දීර්ඝ කාලයක් සේවය කිරීමට සිදුවීම ද ඇතැම් පිරිස් හමුදාවෙන් ඉවත්වීමට පෙළඹෙන හේතු ලෙස ඔහු සඳහන් කළේය.

පවුලේ මූල්‍යමය වගකීම් වැඩි වීම, පවුලෙන් වෙන්ව සේවය කිරීමට සිදු වන දුෂ්කර ප්‍රදේශවල සේවා ස්ථානගත කිරීම් සහ විවාහය හා පවුල් ජීවිතයට මුල් තැන දීමට ඇති උනන්දුව ද මීට අයත් අනෙකුත් කරුණු වේ.

අවසරයකින් තොරව සේවය අතහැර යන, විශේෂයෙන්ම සිය රාජකාරි අතහැර විදේශගත වන හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය ද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජයසේකර මෙහිදී පැහැදිලි කළේය.