සපුගස්කන්ද පිරිපහදුවෙන් මාස නමයට ඩොලර් මිලියන 417 ක ලාභයක්.

පසුගිය මාස නවයක කාලය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඇමරිකානු ඩොලර් මිලියන 417 ක ලාභයක් උපයා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා පැවසීය .

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මීට පෙර වසා දැමීමට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කිරීමට නියමිතව තිබූ මෙම පිරිපහදුව, මේ වසරේ පළමු මාස නවය තුළ මෙලෙස ඩොලර් මිලියන 417 ක ලාභයක් උපයා ඇති බව ඔහු එහිදි පැවසීය .

එමෙන්ම පිරිපහදුව ක්‍රියාත්මක වීම හේතුවෙන් අදාළ කාල සීමාව තුළ රටට ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය .

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පළමු මාස නවය තුළ රුපියල් බිලියන 28 ක ලාභයක් වාර්තා කර ඇති අතර, වසර අවසන් වන විට එම ලාභය රුපියල් බිලියන 28 ත් 30 ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසුවේය.