ග්‍රීක බැඳුම්කර ගැන කබ්‍රාල්ගෙන් පුදුම හිතෙන හෙළිදරව්වක් .

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට තීරණය කළේ මහ බැංකුවේ අන්තර්ජාතික මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු නවයකින් යුත් වාර්තාවක් පදනම් කරගෙන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ප්‍රකාශ කළේය.

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8 ක පාඩුවක් සිදුකළ බවට වන නඩුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රජයට පාඩුවක් සිදුකිරීමේ කිසිදු චේතනාවක් තමාට නොතිබූ බවත්, මෙම ආයෝජනය සිදුකරන ලද්දේ ග්‍රීක සහ අයර්ලන්ත රජයේ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ තර්කානුකූල පදනම පැහැදිලි කළ අන්තර්ජාතික මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සමූහ තීරණයකට අනුව බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය.

ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමට කිසිදු නිලධාරියෙකු විරෝධය පළ නොකළ අතර ඒ පිළිබඳ විරුද්ධත්වය දක්වන සටහන් කිසිවක්ද ඉදිරිපත් නොකළ බවද හිටපු මහබැංකු අධිපතිවරයා පැවසීය .

මනෝජ් තල්ගොඩපිටිය (සභාපති), උදේශ් රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාග වේ.

විත්ති පක්ෂයේ ජනාධිපති නීතිඥ දිලාන් රත්නායක යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කබ්රාල් පැවසුවේ, තමා වයස අවුරුදු 22 දී වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස සුදුසුකම් ලැබූ බවත්, තමා අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ 2011 වසරේදී මහ බැංකුව ලාභ වාර්තා කළ බවත්ය. තමා ධුරයට පත්වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය, ධුරයෙන් නික්ම යන විට ඩොලර් බිලියන 8 දක්වා වර්ධනය වී තිබූ බවද ඔහු සඳහන් කළේය.

ග්‍රීක සහ අයර්ලන්ත බැඳුම්කරවල සිදුකළ ආයෝජන සමස්ත විදේශ සංචිත කළඹෙන් සියයට 0.6 ක් පමණක් බව තහවුරු වී ඇති බවද ඔහු පැවසීය.

රන් සහ වෙනත් වත්කම්වල ආයෝජනය කිරීම අලාභ අවම කරගැනීමට හෝ පියවා ගැනීමට ගත් පියවර බවත්, යම් ආයෝජනයකින් පාඩුවක් සිදුවීම අපරාධයක් ලෙස සැලකිය නොහැකි බවත් ඔහු පැවසීය . මුදල් නීති පනතට අනුව මහ බැංකු අධිපතිවරයාට නීතිමය මුක්තිය හිමිවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත .