සිය දියණියට උදෑසන ආහාරය පිළියෙල කිරීම සඳහා අලුයම අවදි වූ එක්දරු මවක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර, එම ස්ථානයේදීම වස පානය කර යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරු වන අලියකුගේ ගැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත .
ඊයේ (27) අලුයම එප්පාවල පොලිස් වසමේ මහඉලුප්පල්ලම, ගල්මඩුව ප්රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇත .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහඉලුප්පල්ලම, ගල්මඩුව, අංක 74 ලිපිනයේ පදිංචිව සිටි පොල් සංවර්ධන මණ්ඩලයේ ඉපලෝගම කාර්යාලයේ සේවය කළ 45 හැවිරිදි කාන්තවකි.
සිය සැමියාගෙන් වෙන්ව 13 හැවිරිදි දියණිය සමඟ දිවිගෙවූ ඇය, අනුරාධපුරයේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන දියණියට උදෑසන ආහාරය සැකසීම සඳහා ඊයේ අලුයම 4.00ට පමණ අවදි වී තිබේ.
ඇය මුළුතැන්ගෙයින් පිටතට පැමිණෙනවාත් සමඟම නිවස පිටුපස සැඟවී සිටි බව කියන සැකකරු මන්නා පිහියකින් ඇයට පහර දී ඇත. හිසට සහ ගෙලට එල්ල වූ මාරාන්තික පහරවල් හේතුවෙන් ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව වස පානය කර ඇති සැකකරු යතුරුපැදියකින් මහඉලුප්පල්ලම දෙසට පළා යද්දී මහඉලුප්පල්ලම බහුකාර්ය ගොඩනැගිල්ල අසලදී ඔහුගේ යතුරුපැදිය වන අලියකුගේ ගැටීමෙන් අනතුරට ලක්ව තිබේ.
ඔහු එප්පාවල දිස්ත්රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර ප්රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාව මරා දමන බවට තර්ජනය කර ඇති බවද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්රියාත්මක වෙයි .