දූෂණයට එරෙහි කරනා සටනෙදී ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් ඒවා පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීමේ අදියරට අවතීර්ණ වී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි . ඒ අනුව ආයතනික, නීතිමය සහ තාක්ෂණික වශයෙන් දැවැන්ත වෙනස්කම් රැසක් මේ වන විට රට තුළ සිදුවෙමින් පවතින බව ඔහු අවධාරණය කළේය . දකුණු කොරියාවේ පැවැති ජාත්‍යන්තර දූෂණ විරෝධී සමුළුව අමතමින් ඔහු මේ ලෙස අදහස් දක්වීය .
විමර්ශන කටයුතු ශක්තිමත් කිරීමටත්, වඩාත් වේගවත් හා ඵලදායී ප්‍රතිඵල ලබාගැනීම සඳහාත් නඩු කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළේය. මෙහි වැදගත් පියවරක් ලෙස දූෂණ විරෝධී නඩු ප්‍රමුඛතාවක් ලෙස සලකා ප්‍රමාදයකින් තොරව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ තුනක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය .
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙහෙයුම් කාර්යසාධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මේ වන විට එම ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්වෙමින් පවතී. කාර්ය මණ්ඩල ධාරිතාව ඉහළ නැංවීම, සේවා කාර්යක්ෂම කිරීම සහ මහජනතාවට පහසුවෙන් සේවා ලබාගත හැකි පරිදි එහි කටයුතු විමධ්‍යගත කිරීම මෙම ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වේ.
රාජ්‍ය ක්ෂේත්රයේ විනිවිදභාවය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, කාර්යක්ෂමතාව, වගවීම සහ අධීක්ෂණය ඉහළ නැංවීම සඳහා මේ වසරේදී විද්‍යුත් වත්කම් ප්‍රකාශන පද්ධතියක් ද ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබේ.
අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ‘2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ සහ ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම’ මගින් දූෂණය වැළැක්වීම, නීතිය බලාත්මක කිරීම, මහජන දැනුවත්භාවය සහ ආයතනික සම්බන්ධීකරණය ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුළුල් මාර්ග සිතියමක් සපයා ඇති බවයි.
අල්ලස් කොමිසම සහ දකුණු කොරියාවේ දූෂණ විරෝධී හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (ACRC) අතර පවතින සහයෝගීතාව ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම් කෙරෙහි නැඹුරු වෙමින් ස්ථාවර ලෙස වර්ධනය වී ඇති බව ද ඔහු අවධාරණය කළේය. මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස දකුණු කොරියාවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ඇතිව ‘දූෂණ විරෝධී මුලපිරීම් ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත.
දූෂණය යනු ගෝලීය අභියෝගයක් වුවද, අඛණ්ඩ, ප්‍රායෝගික සහ ක්‍රියාත්මක කිරීම් පාදක කරගත් සහයෝගීතාවය තුළින් අර්ථාන්විත ප්‍රගතියක් අත්කර ගත හැකි බව ද ඔහු කියා සිටියේය.