යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට සිය විරෝධය පලකර ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි . යොජිත නව පනත මගින් දැනට පවතින පනතේ අහිතකර තත්ත්වයන් තවදුරටත් වර්ධනය විය හැකි බවත්, එමගින් බරපතළ මානව හිමිකම් ගැටලු මතුවීමේ අවදානමක් පවතින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයට පෙන්වා දී ඇතැයි පැවසේ.
නව පනත් කෙටුම්පතෙහි ඇතුළත් ‘ත්‍රස්තවාදය’ පිළිබඳ නිර්වචනය ඉතා පුළුල් සහ අපැහැදිලි එකක් බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය, එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස සහ මාධ්‍ය නිදහස වැනි මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දැඩි ලෙස සීමා විය හැකි බවට අනතුරු අඟවයි.
ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට පවතින ඉඩකඩ මෙන්ම, වධහිංසා පැමිණවීම් සහ අතුරුදන් කිරීම් වැනි සිදුවීම්වලට මෙමගින් මඟ පෑදිය හැකි බවට ද එම කාර්යාලය සිය කණගාටුව පළ කර ඇත.
විශේෂයෙන්ම පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවක ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමේ ප්‍රතිපාදන ඉවත් කිරීම වැනි සාධනීය වෙනස්කම් නව පනතට ඇතුළත් විය යුතු බව ඔවුන් අවධාරණය කරයි.