වියානා ඇල මත සූර්ය බලාගාරයක් .

මහියංගනයේ වියානා ඇළ ආශ්‍රිතව ‘Canal-Top Solar’ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනය සිදුකර අවසන් බව වාර්තා වේ. මෙය ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වන අතර එමගින් ජල වාශ්පීකරණය අවම කිරීම සහ ජලයේ උෂ්ණත්ත්වය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට අවස්ථාවක් හිමිවන බවද පැවසේ.

මෙම ව්‍යාපෘතිය යටතේ වාරි ඇළ දෙපස විදුලි වැටක් ඉදිකිරීමට නියමිත අතර එමගින් වාරි ඇළට අලි වැටීමේ ගැටළුවට විසඳුමක්ද ලැබෙයි .

මහියංගණය වියානා ඇල කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු පුළුල් ඇළ මාර්ගයකි . එබැවින් එම ඇල මාර්ගය සූර්ය පැනල සහිකිරීම මගින් ජාතික විදුලි පද්ධතියට විශාල පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් එක් කිරීමට ඇති හැකියාව සහ වසරේ වැඩි කාලයක් පවතින ප්‍රශස්ත සූර්යාලෝකය සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය සඳහා වියානා ඇළ තෝරාගෙන ඇත.

මෙම තොරතුරු වාර්තා වූයේ මෙම ව්‍යාපෘතියට අදාල ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදීය . ඉකුත් 20 දා මහියංගනයේදී පැවැති එම සාකච්චාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගී වූහ .