රැඳවුම් භාරයේ සිටි සුරේෂ් සලේ හිංසාවට ලක්ව ඇතිබව වෛද්‍යවරු තහවුරු කරයි .

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් නියෝගය ලබන 10 වන දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පවසීය . ඒ එම නඩුව ඊයේ පස්වරුවේ කැඳවූ අවස්ථාවේය .

මෙහිදී අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ඉල්ලා සිටියේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය ගැන පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා හරහා විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙසය

එසේම සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඉල්ලා සිටියේ රැඳවුම් භාරයට පත්වීමෙන් පසු සංකාව, විශාදය යන රෝගී තත්ත්වයෙන් පෙලෙන බැවින් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසු පරිසරයක් ලබා දෙන ලෙසයි.

සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරනු ලැබු වෛද්‍ය වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය .

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම වෛද්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට මෙලෙස කරුණු දැක්වූවා.

” ස්වාමීනි, ඔබතුමාගේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු මාර්තු 24 වන දින පරීක්ෂාවට ලක් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ස්ථානයේ දී. ඒ සම්බන්ධයෙන් මේ අධිකරණය ප්‍රශ්න උත්තර ලෙස සටහන් කරලා තියෙනවා. සැකකරු මෙලෙස සඳහන් කර තිබෙනවා. මම ඉරුවාරදය රෝගයෙන් පෙලෙනවා. පහසුකම් නොමැතිව මාව රඳවාගෙන සිටියා. විදුලිය නැතුව මම රාත්‍රිය ගත කළා. ඊට පස්සේ දවසේ සුදු ඇදගෙන ආපු නිලධාරීන් පිරිසක් මාව පරීක්ෂාවට ලක් කළා. ඇඳුම් ගලවන්න කිව්වා. මට ඉරුවාරදය රෝගයට අදාල ටැබ්ලට් හම්බ වුණා. රෑ දහයෙන් පස්සේ වොශ් රෑම්වත් ,කොහෙටවත් යන්න දෙන්නේ නැහැ. මීයන්ගේ කරදර තියෙනවා. විශේෂයෙන් යමක් කියන්න ඕනි විමර්ශන නිලධාරීන් මට හොඳට සලකනවා. ඒක තමා මට සහනයකට තියෙන්නේ. නමුත් තව පැත්තකින් වෙන දෙයක් වෙනවා. යනුවෙන් සැකකාර සුරේෂ් සලේ පිළිතුරු ලබා දී ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැන්වූවා.

සිද්ධියට අදාලව වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස සඳහන් කළා.

” 2026/4/22 වන දින පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දෙනවා. කරුණු තුනක් සම්බන්ධයෙන් සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වයට අදාලව. අධිකරණ වෛද්‍යවරයා යටතේ පෝෂණවේදී වෛද්‍යවරයෙක්, මානසික වෛද්‍යවරයෙක් සහ අක්ෂි වෛද්‍යවරයෙක් වෙත සැකකරු ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස. නමුත් අද වෙනකම් පෝෂණවේදී වෛද්‍යවරයෙක් දීපු ආහාර මොනවද කියලා සඳහන් වන්නේ නෑ. එම පෝෂණවේදී වෛද්‍යවරයාගේ වාර්තා අනුව 10 -3 දක්වා අතර කාලය තුළ එළියට යන්න අවස්ථාව ලබා දිය යුතුයි ව්‍යායාම කරන්න . තවද ආහාර වට්ටෝරුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය වන්නේ නෑ මෙතෙක් කර ඇති බවට.”

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර කර සිටියේ එම වෛද්‍ය වාර්තා අධිකරණ වෛද්‍යවරයා හරහා ඉදිරිපත් කරාද යන්නයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සියලු වෛද්‍යවරුන්ගෙන් සැකකරු සම්බන්ධයෙන් ලබා ගන්නා ලද වාර්තා ගරු අධිකරණයට භාර දුන් බවයි.

සිද්ධියට අදාලව තවදුරටත් අඩිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවා දායකයා රැඳවුම් නියෝගයට යටත් වු පසු මෙලෙස මානසික ආබාධිත තත්ත්වයට පත් වූ බවත් ඊට පෙර කිසිදු මානසික ආබාධිත තත්ත්වයන් නොතිබූ බවයි.

ජනාධිපති නීතිඥවරයා මෙලෙස සඳහන් කළා.

” එදා සිට අද දක්වාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ කෘෘර වධහිංසාවට සහ අමානුෂික නින්දිත සහගත සැලකිල්ලට මගේ සේවාදායකයා යටත් වෙලා තියෙනවා. ඒ බව වෛද්‍ය වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඒකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකීම භාරගන්න ඕනි.”

” මනෝ වෛද්‍යවරයා විසින් ලබා දුන් වෛද්‍ය වාර්තාවේ අවස්ථා 7ක මගේ සේවාදායකයා මානසික වද හිංසාවට ලක්ව තිබෙන බව සඳහන් වෙනවා. ඔහුට සංකාව , විශාදය යන රෝගී තත්වයෙන් පෙළෙන බැවින් සියදිවි නසාගැනීමේ දැඩි අවදානම් තත්ත්වයක් තිබෙන බව දක්වා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සුදුසුු තෙරපියුරික් පරිසරයක් ලබා දෙන්න කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. දැන් ඉන්න තැන එම ප්‍රතිකාර ලබා දෙන්න සුදුසු නොවන බව වෛද්‍යවරු දක්වා තිබෙනවා. ඒ ඔහුව කළමනාකරණය කිරීමට නොහැකිි බැවින් ප්‍රතිකාර ලබාදීමට බාධාවක් වී ඇති බවයි සලකන්නේ.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විමර්ශන නිලධාරීන් සැකකරුට හොඳින් සලකන බව පැවසූවා නේද යන්නයි.

එහිදී ජනාධිපති නීතිඥවරයා මෙලෙස සඳහන් කළා.

” විමර්ශන නිලධාරීන් හොඳින් සැලකුවා. සි.අයි.ඩී එකේ ඉන්නේ විමර්ශන නිලධාරීන් විතරක් නෙවෙයි නේ. ඉහළ නිලධාරීන් තමයි මෙම මානසික පීඩනය ලබා දී තිබෙන්නේ. මගේ සේවා දායකයාගේ වෛද්‍ය වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා මෝසම් පත්‍රයක් ගොනු කරලා තමයි අපි ඒවා ලබා ගත්තේ. මෙය තනිකර ස්වාධීන මතයක් නෙවෙයි වෛද්‍ය වාර්තා අනුව ලැබුණු මතයක්. සුරේෂ් සලේ මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා. මං කොහොමද ආය යන්නේ අඩි හතර හයේ එකකට. ස්වාමීනි මේ වද හිංසාවට ලක්වන අයගේ ප්‍රතිචාරයක්.”

“මනෝ වෛද්‍යවරයා පරීක්ෂා කිරීමේදී මගේ සේවා දායකයා මෙලෙස සඳහන් කරලා තියෙනවා. ඇඳුම් ගලවන්න කිව්වා අත් දෙක දිග හරි ඉන්න කිව්වා. කකුල් දෙකට ගැහුවා මට ඉතිරි ටික කියන්න ලැජ්ජයි. මං සතෙක්ද? ස්වාමීනි මෙලෙස වාචික හා අවාචිකව අදහස් ප්‍රකාශ කිරීමෙන් විශාදය තත්ත්වයෙන් පෙළෙන බව පැහැදිලි වෙනවා. තවද නිශ්චිතවම කෘෘර වධ හිංසාවට මගේ සේවා දායකයා ලක්වෙලා බව පැහැදිලියි. ස්ථීර වශයෙන්ම එය වෛද්‍ය වාර්තාවේ තැන් හතක සඳහන් වෙනවා.

” කෘෘර වධහිංසනයට ලක්වීමට එරෙහිව ජාත්‍යන්තර වගකීමක් තියෙනවා. ඒ සඳහා අභ්‍යන්තර නීති සකස් කර යුතුයි. 1984 වධහිංසනය පනත යටතේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි. තවද ත්‍රස්තවාදය වැළකීමේ පනතේ විධිවිධාන වලට අනුව කරුණු සලකා බැලිය යුතුයි. මෙම තත්ත්වයේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබාදිය යුතුයි. පොලිස්පතිතුමා මාර්ගයෙන් මෙම වධහිංසා සම්බන්ධයෙන් නීතිපතිතුමාට ඉදිරිපත් කරලා ස්වාධීනව බලා ඊට අදාල පුද්ගලයන් සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කරන්න ඕනි. අදටත් නීතිපති තුමා ඉන්නෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්. ඉතින් කොහොමද නීතියේ කාර්යය ස්වාධීනව කරන්නේ. මහජනතාවට විශ්වාසය තියන්න පුළුවන්ද වධහිංසාවට ලක්වෙන පුද්ගලයන් සම්බන්ධයෙන්.

” සුරේෂ් සලේට වධ හිංසාවට ලක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් තොප්පියක් දාගත්තා. ඒකෙන් අප කීර්තියට පත්වෙන්නේ නීතිපති තමා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තියේ වධහිංසනයට ලක්වන්නත් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ අය සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කළ යුතු බවද එහි දක්වා තිබෙනවා.

” මෙම වෛද්‍ය වාර්තා අනුව වදිහිංසාවට ලක් කරලා තියෙන්නේ කවුද වධහිංසා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කවුද යන්න විමර්ශනය කරන්න ඕනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාට මගේ සේවා දායකයාගේ බිරිඳ මේල් එකක් යවලා තියෙනවා ඔහු සිටින තැන සී.සී.ටී.වී වාර්තා සංරක්ෂණය කරන ලෙස නමුත් එයට මේ වෙන තෙක් පිළිතුරු ලැබී නැහැ. “

” ස්වාමීනි ඉල්ලා සිටින්නේ මගේ සේවා දායකයා සිටින ස්ථානයෙන් ප්‍රතිකාර ලබාදීමට හැකි සුදුසු පරිසරයක් වෙත යොමු කරන ලෙසයි. නැතහොත් ඔහුගේ ජීවිතයට අවදානම් තත්ත්වයක් පවතින බවයි පෙනී යන්නේ. ඔහු ඉන්න ඕනි වෛද්‍යවරුන් සමඟ රෝහලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නෙවේ. විමර්ශනය දිගටම කරගෙන යන්න. නමුත් දැනට තිබෙන තත්ත්වය ගැන සලකා බලා ඔහුට ප්‍රතිකාර ලබා යුතුයි. ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.දෙයක් වුණායින් පස්සේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ වෙන දේ වලක්වා ගැනීමයි අපේ වගකීම. අපි සලේව ආරක්ෂා කරගත යුතුයි.”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් සඳහන් කර සිටියේ සුරේෂ් සලේ ඔස්කාර් සම්මාන දිය හැකි රංගනයක නිරත වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මෙලෙස සඳහන් කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා

” ස්වාමීනි සිද්ධියට අදාල සැකකරු අත්අඩංගුවට ගන්නේ පෙබරවාරි 25 ඉන් අනතුරුව ඔහු සම්ප්‍රදායෙන් බැහැර වන නියෝග අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඔහු වේදිකාවක් කර ගත්තා අධිකරණය ඔබතුමා නොමඟ යවන්න. දින දෙකක් තුනක් ඔහු ආවා අධිකරණයට. මැයි 4 මොහුව වෛද්‍යවරුන් පරීක්ෂා කරනවා.මැයි 18 වෛද්‍ය වාර්තා ලැබෙනවා. මොහුට මෙවැනි තත්ත්වයක් තිබෙනවා නම් ඇයි මේ වෙනකන් හිටියේ අධිකරණයට මෝසමක් ගොනු කරන්න. සැකකරුගේ පුතා, සහෝදරයා නීතිඥවරුන් පැමිණෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවන්න.

” මෙයාල නාට්‍යයක් රඟපෑවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි මාරු කරන්න කියලා. දැන් දක්ෂ රංගනයක් කරනවා ඔස්කාර් සම්මාන දෙන්න පුළුවන්. 2019 රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේ ස්වයං ඝාතකයින් අට දෙනෙක් බලා ගන්නවා. අවුරුදු තුනක් සුදුසු වේලාව එනකම්. ඔහුට මානසික අවුලක් තියෙනවා නම් මනෝ වෛද්‍යවරයාගේ වාර්තා අනුව අධිකරණයට කියන්න එපැයි මේ වෙනකන් හිටියේ අභියාචනාධිකරණයට යොමු කර රිට් නඩුවට වාසියක් කරගන්න.

” ස්වාමීනී අධිකරණයේ නොමඟ යවලා මොවුන් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් දාලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත් කළේවත් නැහැ. පදනම් විරහිත රඟපෑමක් සිදු කරන්නේ.

” මනෝ වෛද්‍යවරයා දක්වලා තිබෙනවා. මුළු වෛද්‍ය පරීක්ෂණය පුරාම මොහු අඩමින් හිටපු බව. බබා රංගන අපිත් එක්ක හරියන්නේ නෑ. මෙයාලගෙ බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නේ. නැත්තං හිටපු බුද්ධි නිලධාරියෙක් වෙන්නේ කොහොමද. මොහු උසාවියේදී ඇඬුවේ නැහැ. මොහුට පෙර මානසික පිස්සු ගතියක් තිබුණේ නැහැ. මොවුන් හදන්නේ මේ නඩුවේ පසුබිම වෙන පැත්තකට හරවන්න. සැකකරුට තාවකාලිකව මතකය නැතිවීම තිබෙන බව සඳහන් කළා. සැකකරුගේ ජංගම දුරකථනයේ පාස්වර්ඩ් එකත් මතක නැහැ කිව්වා. පරිගණකයේ පාස්වර්ඩ් එකත් අපි හොයලා තමයි හොයා ගත්තේ.”

” ඇඳුම් ගලවන්න කිව්වා, අත් උස්සන්න කිව්වා කකුල් වලට ගැහුවා මට කියන්න ලැජ්ජයි කියලා සැකකරු අනිත් කාරණා කිව්වෙ නැත්තේ. තවද ඔහුට මෙලෙස ක්‍රියා කළ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිඥවරුන් හරහා දැනුවත් කරන්න තිබ්බා. සැකකරුට විටමින් සී ,කේක්, කිරිපැකට්, කොකාකෝලා, බිත්තර රයිස් වගේ ආහාර තමයි ලබා දුන්නේ.

” එහෙම කරලත් මෙහෙම බොරු මෝෂම් දානවට පියවර ගන්න ඕනි. මං සතෙක්ද කියලා සැකකරු කියලා තියෙන කතාව අධිකරණ වෛද්‍යවරයාට කියලා නැහැ. මේක කලින් ට්‍රේනින් කරගෙන තමයි මනෝ වෛද්‍යවරයා ගාවට ගිහින් මෙහෙම පවසලා තියෙන්නේ. සැකකරු සම්බන්ධයෙන් සරල වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරා කියලා තමයි මනෝ වෛද්‍යවරයා වර්තා කරලා තියෙන්නේ. ස්වාමීනී මෙම වෛද්‍යවරයාට අධිකරණ නියෝග ද තිබෙනවා.”

” අධිකරණ වෛද්‍යවරයා ගාව අඬන්නේ නැතුව මනෝ වෛද්‍යවරයා ගාව අඬලා , මෙයාලා පතෝලා චරිත. ආතතිය කාංසාව ඕනම අපරාධකාරයෙක්ට දැනෙන දෙයක්. අපි මැරෙන්න දෙන්නේ නැහැ. ඒක ස්වභාවිකයි. සියදිවි නසවා ගන්න කටයුතු කරනවා මෙයාලා. ඇස්, දත් පෝෂණ දියවැඩියා සායන සේරම බැලුවා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවට පස්සේ සුරේෂ් සලේගේ. කන් දෙකක් සුද්ද කර ගත්තේ සීඅයිඩියකට ආවට පස්සේ. “

” එස්.ටී.එෆ් එකේ දහතුනක් යනවා. බයික් හතරක් යනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජීප් එක යනවා නිලධාරීන් පහක් යනවා.සැකකරු සමඟ සැකකරුට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සලකද්දී මෙලෙස මෝෂමක් ගොනුකර අධිකරණයේ වෙලාව නාස්ති කර අධිකරණයට අපහාසාත්මක ලෙස කටයුතු කිරීම සම්බන්ධවෙන් නීතිමය පියවර ගන්නන ඕනි.

” සැකකරුට සම්බන්ධ වෙන්න කිසිම ප්‍රවේශයක් දෙන්නේ නැහැ කියනවා ගෙදර අය සමඟ. සෑම සෙනසුරාදාම පුතාටයි බිරිඳටයි සැකකරුගේ මවටයි ජංගම දුරකථන ඇමතුමක් ලබා දෙනවා.”

” සැකකරු දැන් මාස තුනක් තිස්සේ ඉන්නවා. ඔහු බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා ඉතින් ඔහුට වධ හිංසා කරපු නිලධාරීන් කවුද කියලා නොකියන්නේ ඇයි? වෛද්‍යවරු අංශ කිහිපයක්ම සැකකරුට කිසිම රෝගී තත්ත්වයක් නැහැ කියලා තියෙද්දි මොහුන් මනෝ වෛද්‍යවරයා ටාගට් කළා. මානසික ආබාධයක් කියලා පෙන්නලා මෙම නඩුව වෙනවා පැත්තකට හරවන්න.

” ස්වාමීනි එම නිසා මෙම සැකකරුගේ සෞඛ්‍ය තත්වය ගැන පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා හරහා විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස
අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ස්වාධීන පරීක්ෂණයක් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා.”

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයේ පෙනී සිටි අතර ඔහු සඳහන් කර සිටියේ පුද්ගලයෙකු අත්අඩංගුවට පත් වූ පසු මෙවැනි මානසික ව්‍යාධි තත්ත්වයන්ට පත්වෙන බවත් එය සාමාන්‍ය තත්ත්වයක් බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ලබන 10 වන දින ලබා දෙන බවයි .