අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අරුණ වර්ෂ විතාන යන අය ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .
මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග වලින් වෙන්කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම සඳහා ඔහුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාවටය. අද පෙරවරුවේ ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම විසිනි .
නදුන් චින්තක නොහොත් හරක් කටා සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දිය යුතු බව පවසමින් රුපියල් ලක්ෂ 1200ක මුදලක් අල්ලස් වශයෙන් මොවුන් ලබාගෙන ඇතිබව අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම අධිකරණය හමුවේ පැවසීය .
මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකරුවන් ලබන ජුලි මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීමට නියෝග කළේය .