මන්නාරම අවට ඉන්ධන කැණීම් ආරම්භ කිරීමට පෙර ජනතා මතය තහවුරු කරගන්න .

ඉන්ධන සහ ගෑස් ගවේෂණය සඳහා මන්නාරම් දූපත අවට බිම් කැණීම් පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අදහස් දක්වයි .

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කර ඇත්තේ කැණීම් කටයුතු හේතුවෙන් මන්නාරම් දුපතේ සිදුවන විශාල පාරිසරික හානිය පිළිබඳව ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ අවධානය යොමුව ඇති බවත් එකී කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රදේශවාසීන්ගේ මතය විමසන ලෙසත් ය.

පාරිසරික වශයෙන් හානිදායක මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව කලබලයට පත්ව ඇති බවද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙම ක්‍රියාකාරකම් ආර්ථික සංවර්ධනය සඳහා වන ධනාත්මක මුලපිරීම් වුවත් නිසි පාරිසරික තක්සේරුවක් හෝ විනිවිඳභාවයකින් යුතුව මෙවැනි ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමක් වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එවැනි සංවර්ධන කටයුත්තකට පෙර ප්‍රදේශයේ ජනතා මතය තහවුරු කරගැනීම සඳහා නිසි මත විමසුමක් පැවැත්විය යුතු බවත්, මන්නාරම් දූපතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සහ ජල සම්පතට බලපෑමක් ඇති නොවිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අවධාරණය කරයි .