ක්‍රිෂ් ගනුදෙනුවේ සිතාසි නිසිලෙස බාර දුන්නේදැයි විමසීමක් .

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනකුට නිකුත් කළ සිතාසි නිසි පරිදි භාර දී දුන්නේද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේය .

කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා කළ ඉල්ලීමක් සලකා බලමින් විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම නඩුවේ පළමු සහ දෙවැනි පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනා දැනට විදේශගතව සිටින බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඔවුන් වෙත සිතාසි යොමු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට සිතාසි ලැබී ඇත්දැයි තහවුරු කර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමක් වන ‘ක්‍රිෂ්’ සමාගම වෙතින් ලබාගත් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.