ප්‍රවීණ හින්දි පරිවර්තක ඩී. පී. සමරසිංහගේ සාහිත්‍ය මෙහෙවර ඇගයේ . ‘කර්නල් හැපී’ ග්‍රන්ථයේ නවතම මුද්‍රණයද එදින නිකුත් වේ.

ප්‍රවීණ ලේඛක සහ හින්දි පරිවර්තක ඩී. පී. සමරසිංහ පරිවර්තනය කළ ‘කර්නල් හැපී’ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය එළිදැක්වීම සහ ඔහුගේ 35 වසරක සාහිත්‍ය නිර්මාණ මෙහෙවර ඇගයීමේ විශේෂ උළෙල, ‘35 වර්ෂෝන් කා අනුවාද් කේ ලියේ ප්‍රණාම්’ අප්‍රේල් මස 30 වැනිදා පස්වරු 1.00 සිට 5.00 දක්වා කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සම්භාවනීය විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේදී, ‘කර්නල් හැපී’ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය කතෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන අතර, ඔහුගේ ජනප්‍රිය කෘතියක් වන ‘දඟකාර මහල්ලා’ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය ද ඉදිරි සාහිත්‍ය උත්සවය වෙනුවෙන් නිකුත් කිරීමට නියමිතය.

1978 වසරේ සිට හින්දි භාෂාවෙන් පළවූ නවකතා සහ කෙටිකතා සෘජුවම සිංහලට පරිවර්තනය කරමින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඩී. පී. සමරසිංහගේ ප්‍රථම කෙටිකතාව, 1990 වසරේදී ‘නවයුගය’ සඟරාවේ පළ විය. එතැන් සිට මේ දක්වා පුවත්පත් රැසකට සිය නිර්මාණ දායකත්වය සපයා ඇති ඔහු, ස්වයං ලිඛිත ජීවිත කතාවට අමතරව නවකතා සහ කෙටිකතා පොත් දහඅටක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ නිර්මාණ අතරින් ‘දඟකාර මහල්ලා’ කෘතිය පස්වන මුද්‍රණය දක්වා අලෙවි වී ඇති අතර, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය හරහා නිකුත් වූ ඔහුගේ තවත් කෘති දහයක් පමණ මේ වන විට පාඨක ඉල්ලුම මත විකිණී අවසන්ව ඇත. මෙරට පාඨකයන්ට හින්දි සාහිත්‍යයේ රසය සමීප කරවීමටත්, ස්වතන්ත්‍ර නිර්මාණකරණයටත් ඩී. පී. සමරසිංහ වසර 35ක් තිස්සේ සිදු කළ අඛණ්ඩ මෙහෙවර ඇගයීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණකි.