පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ වසරේ පළමු මාස 6 ක කාලය තුළ සිදු කරන ලද විශේෂ මෙහෙයුම්වලදී දිවයින පුරා ඖෂධ සැල් වැටලීම් 471ක් ක්‍රියාත්මක කර තිබේ.
2026 ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලය තුළ ඖෂධ සැල් 362ක වැටලීම් සහ විමර්ශන සිදු කර ඇති අතර, පසුගිය දින 2ක තුළ (03 සහ 04 ) ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහන යටතේ ඖෂධ සැල් 109ක් පරීක්ෂාවට ලක් කර සාර්ථක වැටලීම් 86ක් සිදු කර ඇත.
මෙම වැටලීම්වලදී නීති විරෝධී ක්‍රියාකාරකම් රැසක් අනාවරණය වී තිබේ. කල් ඉකුත් වූ ඖෂධ සහ ඖෂධීය නිෂ්පාදන අලෙවිය සඳහා තබා ගැනීම, පාරිභෝගිකයාට අනිවාර්ය තොරතුරු නොමැති ඖෂධ අලෙවි කිරීම, නියමිත පාරිභෝගික තොරතුරු ඇතුළත් කිරීමේ නීති උල්ලංඝනය කිරීම සහ ඖෂධ, වෛද්‍ය උපකරණ, ළදරු නිෂ්පාදන සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සම්බන්ධ නීති කඩකිරීම් මේ අතර වේ.
මෙම වැටලීම්වලදී කල් ඉකුත් වූ ඖෂධ පෙති, එන්නත්, සිරින්ජ, ක්‍රීම් වර්ග, ළදරු නිෂ්පාදන, ගර්භණීභාවය පරීක්ෂා කිරීමේ කට්ටල ඇතුළු වෛද්‍ය උපකරණ සහ පාරිභෝගික භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන අදාළ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර ඇත.
එලෙස පවරන ලද නඩු සඳහා අධිකරණ මගින් රුපියල් 2,269,500.00ක දඩ මුදලක්ද නියම කර තිබේ.
යම් හෙයකින් නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ ඒ බව අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසද දන්වා සිටී.