දෙහිවල ප්රදේශයේ දී අත්බෝම්බ ප්රහාරයකින් දරුවන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද අවධානය යොමුව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්රේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ දරු දෙදෙනෙකුට මරු කැඳවූ එම සිදුවීම තමා දැඩි කම්පනයට ලක් කළ බවය.
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම නාඳුනන පිරිසක් විසින් එල්ල කළ අත්බෝම්බ ප්රහාරයකින් එම නිවසේ සිටි ළමුන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කෙරිණි.
ප්රහාරය එල්ල කිරීමට සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන ත්රිරෝද රථය ඊයේ පාදුක්ක, පහළ බෝපේ ප්රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී සොයාගත් නමුත් සැකකරුවන් පිළිබද මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
මේ අතර මෙම බෝම්බ ප්රහාරය ඉලක්කය වැරදී එල්ල වූවක් බවට ද පොලිසිය සැක මතුව ඇත.
ප්රහාරයට ලක්ව තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබන, මියගිය දරුවන් දෙදෙනාගේ පියාගේ සහෝදරයාගේ නිවස ඉලක්ක කරගනිමින් එම බෝම්බ ප්රහාරය එල්ල කිරීමට අපරාධකරුවන් පැමිණ ඇති බවටත් නිවස මාරුවීමෙන් මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.