ත්‍රිකුණාමලයේ නැංගුරම්ලා ඇති ඉරාන “බුෂෙහර්” නෞකාවේ නාවිකයින් 13 දෙනෙකු මාරු කිරීමට ඉල්ලීම් කර තිබුණද, ආරක්ෂක අමාත්‍යාංශය මගින් මේ වන විට අවසර ලබාදී ඇත්තේ නාවිකයින් 3න් දෙනෙකු පමණක් මාරු කිරීමට බව රවුෆ් හකීම් ඊයේ (11) දින පාර්ලිමේන්තුවේදී පැවසීය .
එහෙත් ඉන්දියාවේ නැංගුරම්ලා ඇති ඉරාන නාවික යාත්‍රාවක සේවයේ නිරත ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් ඉරාන රජය කළ ඉල්ලීම් ඉන්දීය රජය විසින් සලකා බලා ඇති බවත්, එහිදී නාවිකයින් 30 දෙනෙකු පමණ මාරු කර ආපසු යැවීමට අවසර ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය .
අදාළ නාවිකයින්ගේ පවුල්වල සාමාජිකයන් ඔවුන් ආපසු පැමිණීම අපේක්ෂාවෙන් සිටින බැවින්, මෙම කටයුතු සම්බන්ධයෙන් රජය වගකීමෙන් යුතුව කඩිනම් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අවධාරණය කළේය .
ඊට පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර සඳහන් කළේ, ඉරාන නාවිකයින්ගේ ආරක්ෂාව, සුබසාධනය සහ ගෞරවය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම අවශ්‍ය අවධානය යොමු කර ඇති බවයි. ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ඉතිරි කරුණුද විසඳීමට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය .