තැඹිලි ගම්මාන 250 වැඩසටහන ඇරඹේ.

“Ceylon King Coconut Village” ජාතික වැඩසටහන යටතේ වසර තුනක කාලයක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250 ක් ස්ථාපිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙරට තැඹිලි වගාව නව මඟකට ගෙන යමින්, නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීමත්, තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමත් මෙම වැඩසටහනේ අරමුණ වේ.

ඒ යටතේ 2026 වසරේදී තැඹිලි ගම්මාන 75ක්, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී ගම්මාන 95ක් වශයෙන් ගම්මාන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ඊයේ (02) පැවති “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන අමතමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පැවසූවේ, ලෝක වෙළෙඳපොළ තුළ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වන විට ඩොලර් බිලියන 4ත් 5ත් අතර වටිනාකමකින් යුත් විශාල වෙළෙඳපොළක් පවතින බවය.

ඉදිරි වසර 10 තුළ මෙම ගෝලීය වෙළෙඳපොළ ඩොලර් බිලියන 10කට ආසන්න මට්ටමක් දක්වා දෙගුණයක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, එම වෙළෙඳපොළෙන් විශාල පංගුවක් අත්පත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවද ඔහු සඳහන් කළේය.