මීපේ අධ්‍යාපනික නායකත්ව හා සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්යක්ෂ දුමිනා ලෙල්ලෝපිටිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව යටතේ ඇති අනු කමිටුවකට පත් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය (CTU) ඉල්ලා සිටියි .
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කළ ප්‍රකාශයක දී, ඇයගේ පෙර පරිපාලන භූමිකාවන්ට සම්බන්ධ දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා තවමත් විසඳී නැති පසුබිමකදී එම නිලධාරිනිය ප්‍රධාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආයතනයකට ඇතුළත් කිරීම පිළිබඳව ලංකා ගුරු සංගමයම් සිය කනස්සල්ල පළ කර සිටියේය .
2024 මැයි 31 වන දින නිකුත් කරන ලද ජාතික විගණන කාර්යාල වාර්තාවක් උපුටා දක්වමින් කරුණු දක්වූ ලංකා ගුරු සංගමය එම නිලධාරිනිය සම්බන්ධ අක්‍රමිකතා කිහිපයක් එම වාර්ථාවේ දක්වෙන බව පෙන්වාදුන්නේය . එකී චෝදනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තා කරන ලෙස විගණන කාර්යාලය ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයාට වෙන උපදෙස් දී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වන බව එම සංගමය පැවසීය .
නොවිසඳුණු විනය ගැටළු වලට මුහුණ දෙන නිලධාරියෙකු ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යාන්ත්රණයකට ඇතුළත් කිරීම පාලනය සහ වගවීම පිළිබඳ බරපතල ගැටළු මතු කරන බව ලංකා ගුරු සංගමය පැවසීය.