සුනඛයෙකුට හිරිහැර කළ බවට එල්ලකළ චෝදනාව හේතුවෙන් තමාට අපහාසයක් සිදුවූයේයි පවසමින් රුපියල් බිලියන 1.5 ක වන්දියක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් වගඋත්තරකරුවෙකුට එරෙහිව පවරා තිබූ අපහාස නඩුව ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ සමථයකට පත් විය.
කඩුවෙල දිසා අධිකරණයේ ගොනු කර තිබූ නඩුව, දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කර තිබුණ අතර, ඒ අනුව මෙම නීති කෘත්‍ය කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස ඉදිරියේ විභාගයට ගැනිණි.
2025 දෙසැම්බර් මාසයේ පැවති මාධ්‍ය හමුවකදී කළ බව කියන ප්‍රකාශ සම්බන්ධයෙන් මහාචාර්ය ආශු මාරසිංහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් සහ අනෙක් වගඋත්තරකරු වන කරදන ගමරාලලාගේ වනිතා ආදර්ශණී කරදන මහත්මියගෙන් රුපියල් බිලියන 1 ක වන්දියක් ඉල්ලා තිබුණි. දෙවන වගඋත්තරකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.
අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විවෘත අධිකරණයේදී මහාචාර්ය මාරසිංහගෙන් සමාව අයැදීමෙන් පසුව නඩුව සමථයකට පත් විය. මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරන ලද වීඩියෝ පට විකෘති කර ඇති බව ඇය පිළිගන්නා බව එහිදී අධිකරණයට දන්වන ලදී.
සමාව අයැදීමෙන් පසුව, දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ නඩුව ඉදිරියට ගෙන නොයෑමට එකඟ වූ බවයි.