ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට සම්බන්ධ තීරණාත්මක සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ නොමැති වීම පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද ප්‍රශ්ණ කර සිටියේය .
කැමරා ක්‍රියාත්මක වුවද මියගිය පුද්ගලයාගේ නිවසේ කිසිදු සීසීටීවී පටිගත කිරීමක් සටහන් වී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේය.
මරණය සිදුවූ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේ සීසීටීවී කැමරා ක්‍රියාත්මක බව කොළඹ අපරාධ කොට්ටාෂය මීට පෙර අධිකරණයට දන්වා තිබුණද, එහි පටිගත කිරීම් සිදු වී නොමැත.
අද දින තුන්වන වරටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ප්‍රශ්න කිරීමට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගොනු කරන ලද වැඩිදුර වාර්තාවක් හරහා මෙම කරුණු ඉදිරිපත් කරන ලදී.
අරවින්ද ද සිල්වාගේ නිවසට යටින් වාහන නැවැත්වීමේ ස්ථාන දෙකක් තිබූ බවත්, ඒ හරහා නිවසට ඇතුළුවීමට ද හැකි බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු පැවසීය. කෙසේ වෙතත්, මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණවලින් ඒ ආකාරයෙන් කිසිදු පිටස්තර පුද්ගකයෙක් නිවසට ඇතුළු වූ බවට තහවුරු වී නොමැත.
මරණය සිදු වූ ස්ථානයේ හඳුනා නොගත් ඖෂධ පෙති 11 ක් හමු වූ බව එම නිලධාරියා පැවසූ අතර, මියගිය පුද්ගලයාගේ රුධිර සාම්පල සමඟ මෙම පෙති 11 රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීම සඳහා අධිකරණ නියෝගයක්ද ඉල්ලා සිටියේය.
මරණය සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් DVR උපාංගය විමර්ශනයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස නියෝගයක් ද නිලධාරියා ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී, මියගිය පුද්ගලයාගේ නිවසේ ඇති CCTV දර්ශන පරීක්ෂා කර ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමසීය. ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයාගේ නිවසේ ඇති CCTV කැමරා ක්‍රියාත්මක වුවද, කිසිදු පටිගත කිරීමක් සිදු කර නොමැති බවයි.
DVR උපාංග දෙකම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස නිලධාරියා තවදුරටත් ඉල්ලා සිටියේය.
CCTV පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ ඉංජිනේරුවෙකු අද සාක්ෂි දීමට කැඳවා ඇති බව ද නිලධාරියා පැවසීය. නිවසේ සේවය කරන සේවකයින් දෙදෙනෙකු, CCTV කැමරා සවි කළ නිලධාරියා සහ හෙද නිලධාරියා අද සාක්ෂි ලබා දීමට නියමිතව සිටි බව තවදුරටත් ප්‍රකාශ විය.
එම අවස්ථාවේදී, මියගිය පුද්ගලයා සමඟ ඇප ලබා ගැනීමෙන් පසු නිවසට පැමිණි ඇපකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේ දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළ අතර, ඔවුන් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකු බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදුන්නේය . ඊට පිළිතුරු දුන් කොළඹ අපරාධ කොට්ටාෂයේ නිළධාරියා පැවසූවේ
ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම දුෂ්කර වී ඇති බවයි.
ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා ප්‍රකාශ ලබා දීමට ඉදිරිපත් නොවන්නේ නම්, සාක්ෂි ලබා දීමට ඔවුන් අනිවාර්යයෙන්ම කැඳවිය යුතු නොවේදයි විමසූ මහේස්ත්‍රාත්වරයා ඔවුන් අනෙක් සාක්ෂිකරුවන්ට වඩා වැදගත් සාක්ෂිකරුවන් බව පෙන්වාදුන්නේය . ඔවුන් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම්, ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබාගත හැකිබව මහේස්ත්‍රාත්වරයා එහිදී පැවසීය .
ප්‍රතිචාර වශයෙන්, කොළඹ අපරාධ කොට්ටාෂ නිලධාරියා ප්‍රකාශ කළේ මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරන බවයි.