ගම්පහ දිස්ත්‍රික් සංචාරක උපායමාර්ගික සැලැස්ම එළිදකියි!

එළඹෙන වසර තුන සඳහා සකස් කරන ලද ගම්පහ දිස්ත්‍රික් සංචාරක උපායමාර්ගික සැලැස්ම සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් විසින් ඊයේ (19) ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති , කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

තෙවසරක කාලයක් සඳහා සකස් කර ඇති මෙම උපායමාර්ගික සැලැස්ම මඟින් දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ග, ව්‍යාපෘති සහ වැඩපිළිවෙළ යෝජනා කර ඇත.

ගම්පහ දිස්ත්‍රික් සංචාරක අනුකමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව, අදාළ සැලැස්ම පසුගිය 17 සහ 18 යන දෙදින මීගමුවේදී පැවති වැඩමුළුවකදී සකස් කර තිබේ.

බස්නාහිර පළාත් සංචාරක සංවර්ධන මණ්ඩලය, ඊට අදාළ රාජ්‍ය ආයතන සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විවිධ සංගම් ඇතුළු පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත.

ඒ අනුව, 2027, 2028 සහ 2029 යන වසර තුන තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික් සංචාරක උපායමාර්ගික සැලැස්ම නිළ වශයෙන් භාරදීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර, ගම්පහ දිස්ත්‍රික් සංචාරක අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.