”අලි ඇතුන් රකින්නට බැරි වනජීවී ඇමති සහ අධ්‍යක්ෂ ජනරාල් ගෙදර යනු” . විරෝධතාකරුවෝ අමාත්‍යංශය වටලති

දකුණු ආසියාවේ උසම ඇතා ලෙස සැලකූ කාවන්තිස්ස ඇතාගේ මරණයේ වගකීම පරිසර අමාත්‍යංශයට සහ වනජීවී දෙපාර්තමේන්තුව බාරගත යුතුබව ඊයේ බත්තරමුල්ලේ සොබාදහම් පියස අසලට රැස්වූ විරෝධතාකරුවෝ පැවසූහ . ඒ අනුව කාවන්තිස්සගේ මරණයේ වගකීම බාරගනිමින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ පරිසර අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුබව ඕවුහු පැවසූහ.

භික්ෂූන්වහන්සේලා, පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් ඊයේ පෙරවරුවේදී පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට පැවති මෙම සාමකාමී විරෝධයට එක් වූහ. එම පිරිස අතර මිනිස් අලි ගැටුම සුලබ ගල්ගමුව වැනි ප්‍රදේශවලින් පැමිණි අයද සිටි අතර තම පළාත්වල පිහිටි අලි ඇතුන් බුක්ති විඳිනා තෘණභූමි සහ වැව්පිටි මිනිසුන් විසින් දිනපතා අත්පත් කරගනිමින් සිටිනා බව ඕවුහු පැවසූහ . මෙවැනි සිදුවීම් පිළිබඳව කෙතරම් පැමිණිළි කළද වනජීවී බලධාරීන් ඒවාට සක්‍රීයව මැදිහත් නොවනා බවත්, අවසානයේ ජාවාරම් කරුවන්ගෙන් තමන්ට තර්ජන ඇතිවන බවත් ඕවුහු පෙන්වාදුන්හ.

කාවන්තිස්ස ඇතාගේ ජීවිතයට ඇති තර්ජන පිළිබඳව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීන් විසින් කලක සිට අනතුරු අඟවා තිබුනමුත් වගකිවයුතු පාර්ශවයන් අවශ්‍ය කිසිදු පියවරක් නොගත් බවද ඕවුහු පවසති . ජාතික වස්තුවක් ලෙස රැකගතයුතු කාවන්තිස්ස වැනි හස්තීන් නොතකා හැරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පරිසර අමාත්‍යංශයේ අකාර්යක්ෂම බවට හොඳම උදාහරණයක් බව ඕවුහු පෙන්වා දෙති .

ඒ අනුව පශු වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර තුර සිදුවූ කාවන්තිස්ස ඇතාගේ මරණයේ වගකීම බාර ගනිමින් වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විෂය බාර අමාත්‍ය ධම්මික පටබැඳි වහා ඉල්ලා අස්විය යුතු බව පරිසර අමාත්‍යංශය අසළ විරෝධතාවයට එක්වූවෝ පැවසූහ . අලි ඇතුනගේ සංක්‍රමණ මාර්ග, තණ බිම් ඇතුළු වනාන්තර ඉඩම් මිනිසුන් අත්කර ගැනීම දිගින් දිගටම සිදුවන බවත්, දඩමස් ජාවාරම, ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් වනාන්තර තුළ සුලබ වීම නිසා අලි ඇතුන් සහ මිනිසුන් අතර ගැටීමක් ඇතිව තිබෙනා බවත් පෙන්වාදුන් විරෝධතාකරුවෝ මෙම තත්ත්වය විසඳිමට රජයේ වගකීමක් බව අවධාරණය කළහ.

වනජීවී ඡායාරූප ශිල්පි මංජුල පෙරේරා

මාධ්‍යට අදහස් දැක්වමින් ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියෙක් වන මංජුල පෙරේරා පැවසූවේ කාවන්තිස්ස ඇතා පමණක් නොව භාතිය ඇතුළු ඇතුන් ගනනාවක් පසුගිය කාලයේ මේ ආකාරයෙන් මරා දැමූ බවත්, ඊට හේතුව වනජීවී දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම බවත් ඔහු සඳහන් කළේය .

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත වගා බිම්වලට එන වනසතුනට කැමති දෙයක් කරන්නැයි ගොවීන්ට පැවසූ බව රටම දන්නා බවත්, මහජන මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තුවක සිට ජනතා නියෝජිතයෙකු එවන් වගකීමෙන් තොර ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයාගේ එකී අශෝබන ප්‍රාකාශය අලි ඇතුන් පමනක් නොව වෙනත් සතුන් ඝාතනය කරනා දඩයක්කරුවන්ටද උත්තේජනයක් වූ බවත් ඡායාරූප ශිල්පී මංජුල පෙරේරා පෙන්වාදුන්නේය . ඉතිරිව ඇති අග්බෝ වැනි අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සඳහා වහා පියවර ගතයුතු බවත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිටවන පශු වෛද්‍යවරුන් වනජීවී දෙපාර්තමේන්තුවට එක්කරගෙන පශු වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරිය බිඳ දැමිම යුතුබවත්, මහජන විරෝධයට කන්දීම වගකිවයුතු පාර්ශවයන්ගේ වගකීම බවත් ඔහු පැවසීය .