සුගීෂ්වර බන්ඩාරට එල්ලවූ අසූචි ප්‍රහාරය ගැන ඇමති නලින්ද අදහස් දක්වයි .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සුගීශ්වර බණ්ඩාරට එල්ල වූ අසූචි ප්‍රහාරය සහ පෞද්ගලික නිවාස ඉදිරිපිට විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය අදහස් දැක්විය .

ඕනෑම පුද්ගලයෙකුට තමන්ට විරුද්ධ මතයක් දැරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට මූලික මිනිස් අයිතිවාසිකමක් පවතින බව පැවසූ අමාත්‍ය වරයා එම අයිතිය භාවිත කිරීමේදී සාමකාමී පැවැත්මට හානි කිරීමට හෝ දේපළවලට අලාභානි කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බව එහිදී අවධාරණය කළේය.

කෙසේ වෙතත් සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඔවුන් විසින් පොලිසියට පැමිණිලි කළහොත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.

ඇතැම් මාධ්‍ය වාර්තාවල මෙම කණ්ඩායම පැලවත්ත ප්‍රදේශයෙන් පැමිණි බව පවසූවද එම පිරිස පැලවත්තෙන්ද නැතිනම් වෙනත් ස්ථානයක සිට පැමිණියාද යන්න පිළිබඳව රජය සතුව නිශ්චිත තොරතුරු නොමැති බව අමාත්‍යවරයා පැවසීය . සාමාන්‍ය වශයෙන් එවැනි කරුණු තහවුරු විය යුත්තේ විධිමත්ව පවත්වන පොලිස් පරීක්ෂණ බවත්, ප්‍රහාරයේ ස්වභාවය සහ ඊට අදාළ සෙසු කරුණු නීතියට භාර දීම වඩාත් ප්‍රායෝගික මෙන්ම සාර්ථක ක්‍රමය බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය .

සාමකාමී ජන ජීවිතයට බාධා කිරීමට කිසිවෙකුට නීතියෙන් බලයක් ලබා දී නොමැති බවත්, මෙවැනි සිදුවීම්වලදී ජනතාවගෙන් යම් ප්‍රතිචාරයන් හෝ කලබලකාරී තත්ත්වයන් මතු විය හැකි බවත්, ඒ පිළිබඳව තවමත් නිල පොලිස් වාර්තා තමන් වෙත ලැබී නොමැති බවත් සඳහන් කළේය .