රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ගුරු සේවයේ පවතින ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඒ අනුව ගුරු සේවය රටේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාය චන්දන අභයරත්න පැවසීය .
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වනාතවිල්ලුව, නාග මඩුව මහා විද්‍යාලයේ දීර්ඝ කාලීන අඩුපාඩුවක්ව පැවති නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
රටේ පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාද වී තිබූ ගුරුවරුන් බඳවා ගැනීම මේ වසරේදී කඩිනම් කර ඇති බවත්, ඒ අනුව ගුරුවරුන් දහසකට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. ඉදිරි දිනවල එම තරග විභාග පවත්වන බවත් කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව විභාග සහ සම්මුඛ පරීක්ෂණ මත පදනම් වූ විනිවිද භාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් සිදු කරන බවත් ඔහු අවධාරණය කළේය.
පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙන් දරුවන්ට බාහිර ක්‍රියාකාරකම් මඟහැරී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය අලුත් අවුරුදු සමයේ දියේ ගිලීමෙන් සිදු වූ මරණ දෙස බැලීමේදී දරුවන්ට පිහිනීම වැනි ජීවිත ආරක්ෂක කුසලතා ලබා දීමේ වැදගත්කම පැහැදිලි වන බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
“විෂය නිර්දේශ සංශෝධනය කරමින් අධ්‍යාපන පද්ධතියේ නව වෙනසක් අප ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ඉදිරියේදී 9 වසරේදී ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට කටයුතු කරනවා. එම විභාගය හරහා දරුවන්ට තමන්ගේ රුචිකත්වය පරිදි ශාස්ත්‍රීය අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමේ අවස්ථාව උදාවෙනවා. ඒ වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන 50 ක් පමණ වැඩිදියුණු කිරීමට අප පියවර ගන්නවා.
මින් පෙර වෘත්තීය පුහුණුවට යොමු වූයේ පාසල් අධ්‍යාපනය අසාර්ථක වූවන් වුවත්, නව ක්‍රමය යටතේ ශාස්ත්‍රීය හා වෘත්තීය අධ්‍යාපනය යන දෙකටම සමබර හා සමාන ගෞරවයක් හිමිවනු ඇත.”