ෆිට්නස් නීතිය ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙසේ කියයි .

යෝජිත රථවාහන ධාවන යෝග්‍යතා සහ ආරක්ෂිත සහතික කිරීමේ ක්‍රමය පොදු ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරන වාණිජ වාහන සඳහා පමණක් අදාලවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි . ඒ අනුව එය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදාගන්නා වාහන සඳහා අදාළ නොවන බව එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි .

2027 වසරේ මුල සිට අනිවාර්ය රථවාහන යෝග්‍යතා පරීක්ෂණ හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය . එහිදී ඔහු සඳහන් කළේ යෝග්‍යතා සහතිකයක් සෑම කිලෝමීටර 5,000 කට වරක් හෝ මාස තුනකට වරක් ලබාගතයුතු බවයි . කෙසේ වෙතත්, ඔහුගේ එම ප්‍රකාශයේදී මෙම නව නීතිය අදාළ වන්නේ කුමන වාහන කාණ්ඩ සඳහා ද යන්න පැහැදිලිව සඳහන් කළේ නැත . එම හේතුවෙන් ඒ පිළිබඳව සමාජයේ මහත් කැළඹීමක් හටගන්නා ලදි .

මෙම යෝජිත ක්‍රමවේදය සම්බන්ධයෙන් ‘රථවාහන යෝග්‍යතා උපායමාර්ගික කාරක සභාව’ සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින අතර, එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. අදාළ සාකච්ඡා සහ ඇගයීම් අවසන් වූ පසු මේ පිළිබඳව ජනතාව නිසි පරිදි දැනුවත් කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, වාහන හිමියන් අතර අනවශ්‍ය නොසන්සුන්තාවයක් ඇති විය හැකි බැවින්, මේ සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.