ජන අරගලය ‘ලෙයින් සහ කඳුළින් තෙත් කර’ අදට දෙවසරයි (Photos)

‘ගෝඨා ගෝ ගම’ ට සහ ‘මයිනා ගෝ ගම’ ට එල්ලවූ ප්‍රහාරයට වසර දෙකක් සපිරෙනවා.

2022 මැයි 9 වැනිදා එම ප්‍රහාරය එල්ල වුණේ ශ්‍රී ලාංකේය දේශපාලන ව්‍යුහයේ නොමැකෙන සලකුණක් ඉතිරි කරමින්.

බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා රට වටෙන්ම රැස්වූ මහජන කඳක් ගාලු මුවදොර පිටියට එක් වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සහ වැඩපිළිවෙල ජනතාව දිගින් දිගටම පීඩාවට පත් කරනු ලැබුවා.

මේ හේතුවෙන් ආණ්ඩුව පෙරලීම සඳහා ගාලු මුවදොරට ජනතාව එක් වුණා. දින ගණනාවක් සාමකාමී විරෝධතා පැවැත්වුවා.

කෙසේ නමුත් ගාලුමුවදොර අරගල භූමියේ සිටි එම සාමකාමී විරෝධතාකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වුණේ මේ අතරතුරයි.

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ද මැයි 9 වැනිදා.

‘මහින්ද ඕනෑ’ යැයි කියමින් අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිස අවසානයේදී ගෝඨා ගෝ ගමටද පහර දුන්නා. සාමකාමීව අරගල කළ පුද්ගලයන් ප්‍රහාරයෙන් කුපිත වී පොහොට්ටු පාක්ෂිකයන්ට අමතක නොවන්නට ගුටිබැට දුන්නේ ඉන් අනතුරුවයි.

ගාලු මුවදුරින් ඇවිලිනු මේ ගැටුම නිසාවෙන් එදින ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අඳුරු දිනයක් බවට පත්වුණා.

ගාලු මුවදොරින් ආරම්භ වූ එම ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රතිප්‍රචණ්ඩත්වයක් රටපුරා ව්‍යාප්ත වීමට වැඩි වේලාවක් ගත වුණේ නැහැ.

ගාලු මුවදොර සිටි අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම නිසා ප්‍රකෝපකාරී වූ ජනතාව රටේ විවිධ ප්‍රදේශවල සිටි මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ රැසකට ද හානි සිදු කළා.

කෙසේ නමුත් ශ්‍රී ලාංකේය සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයෙහි මෑත කාලීනව විශාල ජන කඳක් එක්ව, එකම අරමුණක් වෙනුවෙන් අරගල කරමින් විශාල පෙරළියක් ඇතිකළ දිනයක් ලෙස මැයි 9වැනිදා ඉතිහාසගත වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!