ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන කථානායකගෙන් නිවේදනයක් – ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේදී පාර්ලිමේන්තුව රැස්වුණා.

එහිදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩුවක් ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව හිමි වුණා.

එහිදී ජනාධිපතිවරයා ආර්ථික වර්ධනය පිළිබඳව විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බව සඳහන් කළා.

මේ වන විට අපේ රටේ උද්ධමනය 1.5%ක අගයකට පහළ වැටී ඇති බවත්, වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත් ජනාධිපතිවරයා පවසනවා.

එමෙන්ම දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන බවත්, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

වසරේ පළමු මාස තුන වන විට විනිමය අනුපාතය ඇමෙරිකානු ඩොලරය රු. 300 වඩා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවී තිබෙන බව හා විදේශ විනිමයේ සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවී ඇති බව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

එම තත්ත්වය ළඟාකර ගැනීමට හැකිවුණේ අභියෝගාත්මක, දුෂ්කර නමුත් නිවැරදි මගක ගමන් කළ නිසා එය හැකිවූ බව ඒ මහතා පෙන්වා දුන්නා.

එමෙන්ම “අපායට වැටුණු රට ගොඩගන්න පුළුවන්” යන විශ්වාසය තමාට තිබූ නිසා රට භාරගත් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මුලික අංශ තුනක් හරහා සිදුකළ බව පැවසු ජනාධිපතිවරයා පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වූ බවත් එම කාර්ය 2023 වසරේ දී අවසන් කළ බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව විදෙස් රටවල් සමඟ ඇති කරගත් ගිවිසුම් මඟින් නිල වශයෙන් ලබාගන්නා ලද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන පැවසු ජනාධිපතිවරයා එම රටවල් සමඟ සාකච්ඡා කර මේ පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟත්වයකට 2023 නොවැම්බර් මාසය වනවිට පැමිණි බවත් ඒ සඳහා පැරිස් සමාජය මෙන්ම එයට අයිති නැති චීනය වැනි රටවල් සමඟද එකඟත්වයකට පැමිණ ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව දැනට සිදුකළ යුතුව ඇත්තේ ණයහිමි රටවල් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පමණක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඒ සඳහා වූ කෙටුම්පත් පිළිබඳව ශ්‍රී ලංකා රජය නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පැවසුවා.

මේ වසර මැද වනවිට සියලු සාකච්ඡා අවසන් කිරීම තම අපේක්ෂාව බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අරමුණ වන්නේ, 2032 වන විට සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගැනීම බව ප්‍රකාශ කළා.

මේ ඉලක්කවලට යෑමට කටයුතු කළ යුතු බව පැවසු ජනාධිපතිවරයා එම ඉලක්ක වෙත යෑම වර්තමානයේ අභියෝගයක් බවත් සඳහන් කළා.

ණය තිරසාරභාවය තහවුරු කරගැනීමෙන් තොරව මේ රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යා නොහැකි බව හා මේ වනවිට රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුල පුරා ඇති බවත් පැවසුවා.

මේ වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් දූෂණ විරෝධී කෙටුම්පත අනුමත කර ඇති අතර,අපරාධ ඔප්පු කිරීම අවශ්‍ය නොවන බවත් අපරාධය සිදුවූ බවට වූ අධිකරණ තීන්දුවක් මත එම මුදල් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

එම ප්‍රකාශය පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!