ශ්‍රී ලංකා යුධ හමුදාවට ජාතික වාර්තා දෙකක්

59 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගනයේදී ඊයේ (31) අවසන් වුණේ නව ජාතික වාර්තා 02ක් සහ තරග වාර්තා 11 ක් පිහිටුවමින්.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබළ පුවිතරන් කේ. රිටිපැනීමේ ඉසව්වේදී මීටර් 5.17ක් වාර්තා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වූ අතර පිරිමි මීටර් 200 සහය දිවීම ඉසව්ව විනාඩි 1:29:93 අවසන්කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම තවත් ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඊට අමතරව පිරිමි මීටර් 100‍, මීටර් 200‍, මීටර් 400‍, මීටර් 3000 බාධක දිවීම‍, සහ මීටර් 400 සහය දිවීම ඉසව්වලිනුත් කාන්තා මී⁣ටර් 400‍, මීටර් 10000‍, මීටර් 100 සහය දිවීම‍, මීටර් 800 සහය දිවීම‍, මීටර් 1500 සහය දිවීම‍, සත්ප්‍රයාම ඉසව්වලදී නව තරග වාර්තා පිහිටුවීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්. අරුණ දර්ශන සම්මානයට පාත්‍ර වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පත්‍ර වුණේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් නදීෂා රාමනායක ක්‍රීඩිකාවයි.

තරගාවලියේ පිරිමි අංශයේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායටත් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවටත් හිමිවුණා.

ඒවගේම කාන්තා අංශයේ සමස්ත ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායත් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායත් දිනාගනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!