කුලියාපිටියේ තරුණයාව ඝාතනය කළේ දියණියව ගැබිනියක් කළ නිසා (PHOTOS)

සිය පෙම්වතියගේ නිවසට ඇගේ පියාගේ කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් මස 22 වැනිදා ගිය මොහොතේ සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයාගේ මළ සිරුර ඊයේ (07) පෙරවරුවේදී මාදම්පේ කැලෑවක තිබී කුලියාපිටිය පොලීසිය සොයා ගනු ලැබුවා.

ඒ අත්අඩංගුවට ගත් පෙම්වතියගේ මාමා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කළ හෙළි කිරීම් මතයි.

එම තරුණයා ඝාතනය වී ඒ වන විට සති දෙකකට වැඩි කාලයක් ගතවී තිබු නිසා ඔහුව හඳුනා ගැනීමට නොහැකි ලෙස සිරුර නරක් වී තිබූ බව පොලීසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ රක්ෂිතයේ ඇති විශාල මහෝගනී ගසක් මුල සිරුර තිබී හමුවූ බවයි.

ඝාතනය වූ තරුණයාගේ පෙම්වතියගේ පියා වන සිඟිති නමැත්තා සහ සිඟිතිගේ සහෝදරියගේ සැමියා වන පෙම්වතියගේ මාමා වැලිමඩ කැප්පෙටිපොළ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් වඩු කාර්මිකයන් දෙදෙනා සමඟ එක්ව මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

එම වඩු කාර්මිකයන් දෙදෙනාව පසුගිය සතියේදී පොලීසිය දුරකතන ජාල විමර්ශනයක් ඔස්සේ හඳුනාගෙන අත්අඩංගුවට ගත මොහොතේ ඔවුන් පවසා ඇත්තේ තරුණයාට සිදුවූයේ කුමක්දැයි ඔවුන් කිසිවක් නොදන්නා බවයි.

සිඟිතිගේ දියණියගේ පෙම්වතා නිවසට ගෙන්වාගෙන දියණිය ගැබිනියක් බවට පත්වීම ගැන ප්‍රශ්න කර අත් බැඳ ඔහුව සිඟිතිගේ මහ ගෙදරට රැගෙන ගොස් වැසිකිළියේ සිර කර තැබූ බවත් පසුව තමන් බස් රථයකට ගොඩ කර ගමේ යන ලෙස සිඟිති පැවසූ බවත් ඉන් එහාට කිසිවක් තමන් නොදන්නා බවත් ඔවුන් පවසා තිබුණා.

මෙම අපරාධය වසන් කිරීමේ අපේක්ෂාව ඇතිව දේශපාලනඥයන් කිහිපදෙනකුගෙන් මෙන්ම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ද නීති උපදෙස් ඇතිව සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නමැති ප්‍රධාන සැකකරු සිය බිරිඳ වන දිලානි ශානිකා සමඟ කුලියාපිටිය අධිකරණයට භාරවී තිබෙනවා.

අනතුරුව කුලියාපිටිය පොලීසිය සිදු කළ විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස සිඟිතිගේ මස්සිනා වන ජයසිංහ දොන් චාරුක දේවින්ද ජයසිංහ (34) නමැති අය අත්අඩංගුවට ගැනීමට හැකි වීම තරුණයාගේ මළ සිරුර සොයා ගැනීමට ඉවහල් වී ඇති බව පොලිසිය පවසනවා.

අවසානයේදී සිඟිති අධිකරණයට භාර වූ අතර ඒ වන විට තරුණයාට සිදුවූ කිසිවක් අනාවරණය වී නොතිබුණු නිසා අධිකරණයෙන් ඔවුන්ට ඇප ලබා දුන්නත් ජාතික හැඳුනුම්පත් නැතිකම හා ඇප ලබාදීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම යන කරුණු මත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය කටයුතු කළා.

දීර්ඝ ලෙස කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හමුවේ චාරුක දේවින්ද ජයසිංහ නමැති පුද්ගලයා පවසා ඇත්තේ UP -CAP 9097 අංකය දරණ කුලියට ගත් රතු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයේ තරුණයාව දමාගෙන මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් පහරදී මරා දැමූ බවයි.

වඩු කාර්මිකයන් දෙදෙනාත් සමඟ තමාත් සිඟිතිත් රක්ෂිතයට ගිය බවත් තරුණයාව සිඟිතිගේ මහ ගෙදරට රැගෙන ගොස් වැසිකිළියේ සිර කරගෙන සිටියේ නැති බවත් චාරුක දේවින්ද ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

සිය දියණිය ගැබිනියක් බවට පත්ව ඇති බැවින් ඇයව විවාහ කරගෙන දරුවා භාර ගතයුතු බව සිඟිති පැවසූ විට එම දරුවා තමාගේ දරුවකු නොවන බව පැවසීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වූ බව ද චාරුක දේවින්ද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පැවසු බව පොලිසිය පවසනවා.

සිය දියණියගේ කුස තුළ සිටින දරුවාගේ පියා තමා නොවන බව පැවසීම හේතුවෙන් උරණ වී පහර කිහිපයක් එල්ල කර තරුණයාව ගැටගැසූ බවත් දියණියව භාර ගන්නේදැයි නැවත නැවත ප්‍රශ්න කළත් ඔහු ඊට එකඟ නොවූ බව ද චාරුක දේවින්ද ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

තරුණයාව මෝටර් රථයේ පිටුපස මැද හිඳුවාගෙන පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් ඇත්තේ දෑස් බැඳ තිබු බවත්, දියණිය භාර ගන්නේ නම් අතහැර දමන බව කීවත් ඔහු එය පිළි නොගැනීම හේතුවෙන් අවසානයේදී පහරදී දෑත් බැඳ තිබුණු ලණුවෙන්ම ගෙල සිර කර මරා දැමූ බවත් චාරුක දේවින්දගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර තිබෙනවා.

සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි මෙම තරුණයාගේ පෙම්වතියගේ වයස අවුරුදු 17යි.

තරුණයා පෙම්වතියගේ පියා වන සිඟිති සමඟ මත්පැන් පෙරීමේ ජාවාරමකට ද කලක් සම්බන්ධව කටයුතු කර ඇති අයකු බව පොලිසිය සඳහන් කරනවා.

ඒ කාලය තුළ සිඟිතිගේ පවුලේ සමීපතියක් සමඟ මෙම තරුණයා අනියම් සම්බන්ධයක් ඇති කර ගැනීම හේතුවෙන් ඔහුව නීති විරෝධී මත්පැන් ජාවාරමෙන් ඈත් කර ඇති බවත්, පසුව සිඟිතිගේ දියණිය සමඟ ඔහු පෙමින් වෙළී ඇති බවත් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙම තරුණයා විවාහකයකු වන අතර එම විවාහය ද කැඩී ගිය එකක් බව පැවසෙනවා.

ඒ අතරතුර ඔහු තවත් තරුණියක ඇසුරු කර ඇති බවත් ඇය ගැබිනියක් වූ පසු ගබ්සාවකට ලක්කර ඇති බවට තොරතුරු ඇති බවත් පොලිසිය පවසනවා.

සිඟිතිගේ දියණිය මාස දෙකක ගැබිනියක බවත් ඇය ගැබිනියක් බව පවුලේ අය දැනගෙන ඇත්තේ තරුණයාගේ අතුරුදන් වීමට සතියකට දෙකකට පෙර බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

තරුණයාගේ අතුරුදන් වීම ගැන 22 වැනිදාම ඔහුගේ මව වන ඉන්ද්‍රානි විජේලතා විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව තරුණයාගේ සිරුර හලාවත රෝහලට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන යනු ලැබුවා.

සැබෑ ලෙසම තරුණයාගේ මරණය සිදුව ඇත්තේ කෙසේදැයි අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!