ඇමැති ප්‍රමාදවී ඇවිත් අදහස්වලටත් ඉඩක් නොදෙයි

මෙරට ඇගළුම් ක්ෂේත්‍රයේ දැවැන්තම සමාගම් පහේ හිමිකරුවන් සහ ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයෙක් අතර පසුගියදා පැවති සාකච්ඡාවකට ඇමැතිවරයා ප්‍රමාදවී පැමිණිමත් අදාල ආයතනවල හිමිකරුවන්ගේ අදහස්වලට ඉඩක් ලබා නොදීමත් නිසා එම ව්‍යාපාරිකයින් කළකිරීමට පත්ව සිටින බව අනාවරණය වේ.

සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ඇගළුම් කර්මාන්තයේ ප්‍රධාන සමාගම් කිහිපයේ හිමිකරුවන් සමග සාකච්ඡාවක් සංවිධානය කර ඇත. මෙම සාකච්ඡාව සදහා සුදුසු වෙනත් කැබිනට් ඇමැතිවරයෙක් යෝජනා කර ඇති අතර ඔහු හදුන්නෙත්ති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට පැමිණ අදාල හිමිකරුවන් හමුවීමට කැමැත්ත දක්වා තිබේ.

ඒ අනුව ඇමැතිවරයා අදාල සාකච්ඡාවට පැමිණ ඇති අතර ඔහු නියමිත වේලාවට වඩා පැයකට වඩා ප්‍රමාදවී පැමිණ ඇත. ඇමැතිවරයා පැමිණෙන තෙක් අදාල ආයතනවල හිමිකරුවන් බලාගෙන සිට තිබේ.

ප්‍රමාදවී පැමිණි ඇමැතිවරයා තමන්ට තවත් රාජකාරී කටයුතු ඇති බවත්, ඒ නිසා වැඩි වේලවක් ගත කිරීමට නොහැකි බවත් පවසා කතාව පටන් ගෙන ඇත. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන පැහැදිළි කිරීමක් කළ ඇමැතිවරයා මහාම නැගිට යන්න ගොස් ඇත.

ඇගළුම් කර්මාන්ත ශාලාවල හිමිකරුවන් වන මෙම දැවැන්තයින් කිහිපදෙනා සාමාන්‍යයෙන් දේශපාලඥයින් සහභාගී වන සාකච්ඡාවලට පැමිණීම එතරම් දක්නට නොලැබෙන නමුත් ආණ්ඩුව පත් කිරීමට ඔවුන් සක්‍රීය දායකත්වයක් ලබා දී ඇති නිසා එම හමුවට පැමිණ තිබේ.

එහෙත් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය නිසා අදාල කර්මාන්තශාලා හිමිකරුවන් දැඩි කළකිරීමට පත්ව ඇති බවද ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි