මළ සිරුරක් පෙන්වා ණය ගන්න තැත්කළ බ්‍රසීල කත

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් රෝද පුටුවක තබාගෙන පැමිණි කාන්තාවක් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක ණය මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී බ්‍රසීල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණේ 42 හැවිරිදි එරිකා ඩි සෝසා නම් කාන්තාවයි.

එම කාන්තාව රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රැගෙන ආ මළ සිරුර 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයෙකු බවත් ඔවුන් දෙදෙනා ඥාතීන් බවත් මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

එරිකා පවුලෝ එම මළ සිරුර රෝද පුටුවක තබා ගනිමින් රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට පැමිණ තිබෙනවා.

එලෙස රැගෙන ආ අවස්ථාවේ පවුලෝගේ බෙල්ල පහළට කඩා වැටී, ඇස් වැසී තිබීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතුව ඇති බව බ්‍රසීල පොලිසිය පැවසුවා.

එම කාන්තාව ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණ [”මාමේ ණය ගන්න අත්සන් කරන්න මට ඔයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ ණය ගන්න ඕනෑ නම් අත්සන් කරන්න” යනුවෙන් මළ සිරුරට ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම එම සිදුවීම සිදුවූ අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට සැක සිතී හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!