සංචාරය කිරීමට වඩාත් සුදුසු ගමනාන්ත තුන අතරට ශ්‍රී ලංකාවත්

සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවේ 2024 වසරේ ගිම්හාන සෘතුවේ සංචාරය කිරීමට ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර තිබෙනවා.

මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 20%ක වැඩවීමක් බවයි වාර්තා වන්නේ.

ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකානු ජාතිකයන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට නියමිත අතර 2022,2023 අතර කාලය තුළ පමණක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර මිලියන 24ක් නිකුත් කර ඇති බව ෆෝබ්ස් සඟරාව පවසනවා.

මේ වසරේ ගිම්හාන සෘතුවේ දී සංචාරකයින් යුරෝපා රටවලින් ඈත්ව සිටිය යුතු බවත් ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙනවා.

සංචාරය කිරීම සඳහා වඩාත්ම සුදුසු ගමනාත්ත ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය හඳුන්වා දිය හැකි බව එම වාර්තාවේ දැක්වෙනවා.

ෆෝබ් සඟරාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සශ්‍රීක උස්බිම්වලින් සහ විස්මිත වෙරළ තීරයන්ගෙන් යුත් දූපතක් වන අතර බාලි හා සමාන සංචාරක ආකර්ෂණයක් පවතින බවයි.

සංචාරකයින් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යාන 22ක් පවතින බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

දරුණු ආර්ථික අර්බුදයෙන් සහ මෑත කාලීන සිදුවීම්වලින් සුවය ලබමින් සිටින ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පෙරමුණේ පසුවන බව ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!