පාසල් සිසුන්ට පාසල් යන්න පාපැදියක්

ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන පාසල් දරුවන් අඛණ්ඩව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ‘චයිල්ෆන්ඩ්’ආයතනය පාසල් සිසුන්ට පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා.

මෙම පාපැදි නිල වශයෙන් භාර දීම අද දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වුණා.

එම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිෂුකොෂි හයිදේකි (MIZUKOSHI Hadeaki) මහතා, ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ නියෝජිත යුකෝ ඉෂාණ්ඩා (YUKO ISHANDA) හා ලංකා ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආදිති ගෝෂ් (ADITI GOSH) මහත්මිය යන අය සහභාගි වී සිටියා.

මෙරටට ලැබී ඇති පාපැදි තොගය ලබා දීම සඳහා මොණරාගල, පුත්තලම, මුලතිව් වැනි ප්‍රවාහන දුෂ්කරතා සහිත දිස්ත්‍රික්ක 12ක පාසල් 108කින් වයස අවුරුදු 12-16ත් අතර සුදුසු සිසු සිසුවියන් පිරිසක් දැනටමත් තෝරාගෙන තිබෙනවා.

නිවසේ සිට පාසලට අවම වශයෙන් කිලෝමීටර් දෙකහමාරක දුරක් පැමිණිය යුතු වීම හා සිසුන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතා හා වෙනත් අපහසුතාද මෙම පාපැදි ලබා දීමේ දී සැලකිල්ලටගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!