මාස තුනට 75,000කට ආසන්න පිරිසක් රට රස්සාවට ගිහින්

මේ වසරේ ගත වූ මුල් මාස 3 තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 75,000කට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස් ගතවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය සඳහන් කළේ මෙම කාලය තුළ පුද්ගලයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදෙස් ගතව ඇති බවයි.

ඉන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් වනවා.

ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු රැකියා සඳහා කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර එම සංඛ්‍යාව 17,793කි.

පෙර වර්ෂවලට සාපේක්ෂව මේ වසරේ මුල් මාස තුන තුළ ලාංකිකයන් දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ රැකියා සඳහා දකුණු කොරියාව වෙත ලාංකිකයින් 2,374 දෙනෙකු ද, ඊශ්‍රායලය වෙත 2,114 දෙනෙකු ද රුමේනියාව වෙත 1,899 දෙනෙකු හා ජපානය වෙත 1,947 දෙනෙකු ද පිටත්ව ගොස් ඇති බවයි.

වැඩිදුරටත් එම කාර්යාංශය සඳහන් කළේ රැකියා සඳහා විදෙස් ගතවූ ශ්‍රී ලාංකිකයින් මේ වසරේ මුල් මාස 2 තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 963.8ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා තිබෙන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!