HIV ආසාදිතයන්ට දෙන ඖෂධයක් බෙදාහැරීමේ ගැටළුවක් .

මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අතර HIV ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් හඳුනාගෙන ඇති බවත් ඒ සඳහා භාවිත කරන ප්‍රෙප් ඖෂධය බෙදා හැරීමේදී කිසියම් ස්ථානයක ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව නිශ්චිතව සොයා බැලීමට රජය සූදානම් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය . අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය .

නව යොවුන් වියේ පසුවන්නන් සහ තරුණ තරුණියන් අතර පෙර වර්ෂවලට සාපේක්ෂව මෙම රෝගී තත්ත්වයන්ගේ ප්‍රතිශතාත්මක වැඩිවීමක් වාර්තා වන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය .

එච්.අයි.වී. මූලික පියවරක් ලෙස වළක්වා ගැනීමට භාවිත කරන ප්‍රෙප් ඖෂධය බෙදා හැරීමේදී රට තුළ විශාල ගැටලුසහගත තත්ත්වයක් පවතින්නේදැයි කැබිනට් හමුවට එක්වූ මෙහිදී මාධ්‍යවේදින් එහිදී විමසා සිටියේය .

විශේෂයෙන්ම මෙම ඖෂධය ලබා දෙන්නේ තෝරාගත් රෝහල් කිහිපයකින් පමණක් වන අතර, ලිංගිකාශ්‍රිත රෝග සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන් මෙය තමන්ගේ ඒකාධිකාරයක් ලෙස තබාගෙන පාලනය කරන්නේද යන සැකය මතු වන බව මාධ්‍යවේදීන් පෙන්වාදුන්නේය .

මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සපයන ග්ලෝබල් ෆන්ඩ් ආයතනයේ අරමුදල් 2030 වසරේදී අවසන් වන බැවින්, ඔවුන් මෙම වැඩපිළිවෙළ අතරමඟ නතර කර ගියහොත් රජයට සම්පූර්ණ බරපැන දරන්නට සිදුවන බව ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

මාධ්‍යවේදීන් විමසූ එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස කියා සිටියේ, ප්‍රෙප් ඖෂධය බෙදා හැරීමේදී ඇතැම් ස්ථානවල සේවාදායකයන්ට ඖෂධ නිසි පරිදි නොලැබෙන බවට වන හිඟතාවන් පිළිබඳව මෙතෙක් ජාතික ඒඩ්ස් මර්දන ඒකකය මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයට නිල වශයෙන් වාර්තා කර නොමැති වුවද, එවැනි නිශ්චිත ස්ථාන පිළිබඳව තොරතුරු ලැබුණහොත් එහි පවතින අඩුපාඩු වහාම සොයා බලන බවයි.