පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් පවත්වගෙන ගිය කොළඹ 03, ආර්.ඒ.ද මැල් මාවතේ පිහිටි “Zhongsing Supermarket (Pvt) Ltd” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අද දින කොළඹ අංක පහ මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් කළ විශේෂ වැටලීමකදී මෙම සුපිරි වෙළඳසැල තුළ, භාණ්ඩවල මිල ප්රදර්ශනය නොකිරීම, සැපයුම්කරුගේ බිල්පත් හෝ කුවිතාන්සි සන්තකයේ තබා නොගැනීම, භාණ්ඩ ඇසුරුම්වල උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ/ආනයනකරුගේ නම සහ ලිපිනය ඇතුළු අනිවාර්ය ලේබල් තොරතුරු සඳහන් නොකර භාණ්ඩ අලෙවියට තබා තිබීම යන වැරදි හඳුනාගෙන තිබු අතර ඊට අදාල චෝදනා අධිකරණය හමුවේ ගොනුකරනු ලැබීය .
අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව එම සුපිරි වෙළඳසැළට අධිකරණය විසින් රුපියල් 300,000 ක දඩ මුදලක් නියම කරනා ලදි . අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු භාණ්ඩ තොගය විනාශ කිරීමට ද නියෝග කෙරුණි.