එජාප ජන රැලිය 10 වනදා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකකට පසු සහභාගි වන එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රාහි ජන රැලිය කුලියාපිටියේදී ලබන 10 වැනිදා සවස 2.00ට පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මෙම රැළියට සහභාගී වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කළ බවයි මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

“රටේ ප්‍රශ්න දරුණු වූ වේලාවක තනි පාර්ලිමේන්තු ආසනයක් තියාගෙන, ජනාධිපති ධුරය දක්වා පැමිණ රටේ හැම කෙනාටම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලනය පැත්තකින් තබා මේ රටේ ප්‍රශ්න විසඳන්න එකතු වෙන්න කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළා. ඒත් විපක්ෂයේ කිසිවකු ඊට එකඟ වී එකතු වුණේ නැහැ. ඒ නිසාම එතුමා ගෙන යන මේ රට ගොඩනඟන වැඩපිළිවෙළට දේශපාලන සුරක්ෂිතභාවය සහ පන්නරය දෙන්න අප එක්සත් ජාතික පක්ෂය විදිහට තීරණය කර තිබෙනවා. මේ ගෙනයන වැඩපිළිවෙළේ ඇති සැබෑව, යථාර්ථය මෙන්ම රට හමුවේ ඇති අභියෝගය රටේ ජනතාවට පෙන්නුම් කර දෙන්න එක්සත් ජාතික පක්ෂය සුදානම්. එමඟින් එතුමාගේ වැඩසටහනට සහයෝගය දෙන්න අප සූදානම් වනවා. 2019දී වැටුණු වළට 2024දී මේ රට යළි වැටෙන්නට අප ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉෂ්ට කරන්න අප දැන් සූදානම්.

“එක්සත් ජාතික පක්ෂය දේශපාලනය නොකර හිටියේ පසුගිය කාලයේ දේශපාලනය කරන්න බැරි නිසා නෙවෙයි. අපේ රට පසු කරමින් සිටියේ දේශපාලනය කරන කාලයක් නෙමෙයි කියන එක ජනතාව තේරුම් ගත යුතුයි. රට බින්දුවට වැටිලා ඩොලර් පන්සීයක සංචිත හොයාගන්න බැරි කාලයක් පසු කරමින් සිටියදී දේශපාලනය කළ යුතු නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඩොලර් බිලියන පහක් හයක් දක්වා මේ රටේ සංචිත වර්ධනය කරගනිමින් රට ක්‍රමානුකූලව ඉදිරියට අරගෙන යනවා. දැන් විදුලි බිල අඩු කරමින්, ඉදිරි කාලයේදී ඉන්ධන මිලත් අඩු කරමින් මිනිසුන්ට සහන සලසා දෙමින් යනවා. ඒ යන ගමනට ජනතාව විදිහට සහාය දෙන්න අපට යුතුකමක් තිබෙනවා. එසේ නැති වුණොත් අපේ ආර්ථකය විශාල කඩාවැටීමකට ලක් වෙලා මේ ප්‍රශ්න නැවතත් උඩට මතු වෙලා එයි. ඒ නිසා මේ ගෙන යන වැඩපිළිවෙළට සහාය වී ශක්තිය දී දේශපාලන වැඩ කටයුතුවලින් තොරව රට ගැන හිතලා කටයුතු කිරීමේ වගකීම සියලු දෙනාට තිබෙනවා.

“ඒ නිසා තමයි අපි එළඹෙන මාර්තු 10 දා කුලියාපිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් ජනතාව අමතන ජන රැලියේදී ‘සැබෑව’ කියන තේමාව අප තෝරාගත්තේ. යථාර්ථයට මුහුණ නොදී මඟහැර ගියොත් මේ රටේ මිනිස්සුන්ට අනාගතයක් නැහැ. විවිධ කකුල් මාට්ටු දාලා දේශපාලනයේ විවිධ ඇදවැටීම් කරන්න ඕනෑ කෙනකුට පුළුවන්. මිනිස්සුන්ගේ දුක මිනිස්සුන්ටම මාකට් කරමින් සමහර දේශපාලන පක්ෂ සහ මාධ්‍ය හැසිරෙන බව අපට පේනවා. මේවාට ඉඩ දිය යුතු නැහැ. මේ වෙනුවෙන් රටේ ජනතාව පෙළගැසිය යුතුයි. රට ගොඩගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැතුව වෙන කෙනකු ඉන්නවා නම් නම් කරන්න පුළුවන්. මේ රටේ තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි; ආර්ථික ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්න විසඳන්න මේ රටේ ඕනෑ තරම් නායකයෝ ඉන්නවා. ඒත් ආර්ථික ප්‍රශ්න විසඳන්න ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අප හැම දෙනාම අද වන විට දන්නවා.

රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයා විදියට කටයුතු කළත්, පක්ෂයක් විදියට ඔහුට ඒ පන්නරය, සුරක්ෂිතභාවය, ශක්තිය දෙන්න අපට අයිතියක් සහ යුතුකමක් තිබෙනවා. එතුමා ජනාධිපති ධුරයට පත් වී අවුරුදු දෙකකට පසු ප්‍රථම වරට මහජනතාව අමතන රැලියකට සහභාගි වෙන්න එතුමාට ආරාධනා කළේ ඒ නිසයි. ඔක්කොම ගංගා මුහුදට එකතු වෙනවා වගේ අවසානයේදී සියලු දෙනාම එකතු වෙලා එතුමා ජයග්‍රහණය කරවීම අපේ අරමුණයි. දේශපාලන ප්‍රශ්න මතින් තමන්ගේ දේශපාලනය ගෙනයන්න උත්සාහ කරන පිරිසට පිළිතුරක් විදියට අප මේ රැලිය සංවිධානය කරනවා. අපට කිසිම කෙනකුගේ අභියෝගයක් නැහැ. සමඟි ජන බලවේගය පමණක් නෙවෙයි, අනෙකුත් සෑම පක්ෂයක්ම අපට ඉදිරියේදී සහාය දේවි. මේ රටේ තිබෙන ප්‍රශ්නය විසඳන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. එතුමා විතරයි භාර ගත්තේ. ඒ නිසා එතුමා හැර වෙන විකල්පයක් කිසිවකුටත් නැහැ.

“මේ රටේ දැඩි සත්කාර ඒකකයට දාපු ආර්ථිකය නමැති ලෙඩා එළියට අරන්, යම්කිසි හොඳ තත්ත්වයකට ගෙනාවේ වර්තමාන ජනාධිපතිතුමයි. ඒත් ඒ ලෙඩා තාම හොඳ අතට හැරිලා නැහැ. නැවතත් ඒ ලෙඩා දැඩි සත්කාර ඒකකයට දැම්මොත් කිසිම නායකයකුට ලෙඩා බේරාගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. 2020දි අප ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් දේවල් අද ඒ විදිහටම මේ රට තුළ සිද්ධ වෙමින් තිබෙනවා. පොදු අපේක්ෂකයත් නිර්පාක්ෂික අපේක්ෂකයත් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.”