22ට අඩු ස්ත්‍රී දූෂකයන්ගේ දඬුවම් අඩු කරන්න එපා! – මන්ත්‍රීවරියෝ ඉල්ලති

ස්ත්‍රී දූෂණවලට වරදකරුවන් වන වයස අවුරුදු 22ට අඩු පුද්ගලයන්ට ලිහිල් දඬුවම් දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට විරෝධය පෑමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදය තීරණය කර තිබෙනවා.

එවැනි යෝජනාවක් පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදයේ උප සභාපතිනි, රෝහිණී විජේරත්න සඳහන් කරන්නේ.

අවුරුදු 16ට අඩු දැරියන් තමන්ගේ කැමැත්තෙන් හෝ ලිංගික අපයෝජනයකට ලක් කිරීම පවතින නීතියට අනුව වසර විස්සක බරපතළ සිරදඬුවම් හිමිවන වැරැද්දක් වනු ඇති.

එවැනි අපයෝජනවලට වරදකරු වන තැනැත්තා වයස අවුරුදු 22ට වඩා අඩුවන අවස්ථාවල දී ඔහුට ලිහිල් සිරදඬුවමක් පනවන ලෙසට අධිකරණ අමාත්‍යාංශය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව සමාජයට, සංස්කෘතියට මෙන්ම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාවට අහිතකර අන්දමින් බලපෑ හැකි බැවින් එම යෝජනාවට කිසිසේත් එකඟ නොවන බවයි රෝහිණී විජේරත්න මන්ත්‍රිවරිය පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!