යන්ත්‍රයක් ජප කරන්න කපුවා ගුරුවරියව හෝටලේකට අරං ගිහිං

අපලයකට යන්ත්‍රයක් පැලඳීම සඳහා යැයි පවසා වැල්ලවාය ප්‍රදේශයේ පාසලක සේවය කරන තිස්හත් හැවිරිදි ගුරුවරියක තිස්සමහරාම දෙබරවැව හෝටලයකට රැගෙනවිත්, රැය පහන්වන තුරු අවස්ථා කිහිපයක දී එම ගුරුවරිය ලිංගික අතවරයට ලක්කළ කපුවකු අත්අඩංගුවට ගැනීම සඳහා තිස්සමහරාම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

අතවරයට පත් ගුරුවරිය, සැකකාර කපුවාගෙන් බේරි පසුදා (20) පාන්දර ජනේලයෙන් පැන යෑමට උත්සාහ කිරීමේ දී උඩු මහලින් පහළට ඇද වැටී සිටිය දී, හෝටල් හිමිකරු දැක ඇය තිස්සමහරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

සෙවණගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ අතවරයට පත් ගුරුවරිය සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගන්නා ලද මහියංගණය, පන්තියගම, වේවත්ත පදිංචිකරුවකු වූ කපුවකු සමග දුරකථනය ඔස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙන බව වාර්තා කරන එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම ගුරිවරියට ඇතැයි කියන අපලයකට යන්ත්‍රයක් ජපකර දැමීමට කතාකර ගැනීම සඳහා තිස්සමහරාම බස් නැවැතුම්පොළේ දී හමුවන ලෙස කපුවා ගුරුවරියට දන්වා ඇති බවයි.

ඒ අනුව ඉකුත් 19 වැනි දා සවස තිස්සමහරාම බස් නැවැතුම්පොළේ දි ගුරුවරිය හමුවීමෙන් පසු ඇය තිස්සමහරාම දෙබරවැව හෝටලයට රැගෙන ගොස් යන්ත්‍රය පලඳවන්න යැයි පවසා ඇයගේ කර බැඳි රන් මාලයද ගලවාගෙන අවස්ථා කිහිපයකදී ම ලිංගික අතවරයට පත්කර තිබෙන බව එම පුවත්පත වාර්තා කරනවා.

අලුයම කපුවාට නින්ද යෑමෙන් පසු ඇය ඔහුගෙන් බේරී පලා යෑමට උත්සාහ කිරීමේදී උඩ මහලින් පහළට වැටී ඇත, අවදි වී බලන විට ගුරුවරිය කාමරය නොමැති බව දැනගත් කපුවා තම බිරිඳ පැනගොස් ඇති බව හෝටල් හිමියාට පවසා කාමර කුලිය ගෙවා හෝටල් භාරයට ගෙන තිබූ තම හැඳුනුම්පතද ඉල්ලාගෙන ඔහු පැනගොස් තිබෙන බවත් එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බිම ඇද වැටී දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ගුරුවරිය හෝටල් හිමියා 20 වැනි දින පාන්දර දැක ඇති අතර ඇය රොහල් ගතකර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!