වෘත්තිකයන් බිහිකිරීම සඳහා සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ නව වෙනසක්

අනාගත නව රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් බිහි කළ හැකි ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය හා සමස්ත අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යෑමට දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුවත් රජය කැප වී ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) අරලියගහ මන්දිරයේ පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වුණා.

මෙහිදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 60ක් සඳහා පත්වීම් ලබා දුන් අතර උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2,159ක් සඳහා ගුරු පත්වීම් ලබාදීම ද සිදුකෙරුණා.

දිවයිනේ ජාතික පාසල්වල පවතින අපොස උසස් පෙළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා, ගණිත, තාක්ෂණවේදය, විදේශ භාෂා විෂයන්වල සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ විෂයන්වල ගුරු පුරප්පාඩු සඳහා සහ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරුපුරප්පාඩු සඳහා මෙම ගුරුවරුන් යොමු කෙරෙනවා.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ රට මුහුණ දුන් දුෂ්කර කාලපරිච්ඡේදයක් පසු කරමින් වසර දෙකහමාරක් වැනි කෙටි කලක් තුළ අභියෝග ජයගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩි ම ගැටළු ප්‍රමාණයක් විසඳා ඇති පසුබිමක සැබෑ අභියෝග මගහැරි පිරිස් විවිධ විවේචන හා බාධාකිරීම් සිදු කිරීමට පමණක් නොපැකිළ ව ඉදිරිපත් ව ඇති බවයි.

පන්ති කාමර තුළ බාධා රහිත ව අධ්‍යාපනය ඉඩ ප්‍රස්ථා හිමි වූ නිසා අද ගුරුපත්වීම්ලාභීන් වීමට හැකි වී ඇති අයුරින් අභියෝග ජයගැනීමේ නායකත්ව ලක්ෂණ දරුවන්ට උගන්වන ගුරුවරුන් වශයෙන් ඉතා සංවේදී අයුරින් මේ පිළිබඳ සිතා බැලිය යුතු බව ද නව පත්වීම්ලාභීන් අමතමින් ඒ මහතා පැවසුවා.

පසුගිය දශක පහක හයක පමණ කාලය තුළ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයන් වූ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම, ගුරු සේවාව ස්ථාපිත කිරීම වැනි පියවරයන් නිසා පාසල් විෂයමාලා සංවර්ධනය හා ගුරුභවතුන් බඳවාගෙන පුහුණු කිරීම සිදු කළ හැකි ව පවතින බවත් ඒ ඔස්සේ විවිධ අනපනත් ගෙන එමින් නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට ද වත්මන් පාලනය සමත් වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම උපාධිධාරී ගුරු පත්වීම් පවා ලබා දීමට හැකි වූ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.

එසේ ම විශ්වවිද්‍යාල පද්ධතිය සිය පාඨමාලා ඉදිරි දශක දෙක තුනකින් එහා කාලසීමාවට ගැළපෙන අයුරින් නව්‍යකරණය විය යුතු ම බවත් විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධරයකු කිසිවකුට අත නොපා ස්වාධීන ව සිය වෘත්තීය නිපුණතාවය සලසාගැනීමට සමත්කමක් විශ්වවිද්‍යාල තුළ දී ලබා තිබිය යුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී විශ්වවිද්‍යාලවල විද්‍යා අධ්‍යයන පීඨ සමග ලොව පිළිගත් විද්‍යා ආයතන සහසම්බන්ධ කර එම නව්‍ය දැනුම මෙරට විශ්වවිද්‍යාල සිසුන්ට ද ලබා දීමට පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළා.

මෙරට මෑත කාලීන ව පිහිටුවා ඇති නැනෝ හා ජෛවතාක්ෂණ ආයතන වැනි විද්‍යා ආයතන සමග පාසල් විද්‍යා විෂය උගන්වන ගුරුභවතුන් පවත්වන සහසම්බන්ධය ඉතා ම දුර්වල මටටමක පවතින බවත් ඒ තත්වය ද මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ඉදිරියේ දී ගත යුතු බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.

ලෝකය ජෛව තාක්ෂණය, නැනෝතාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂය නව තොරතුරු තාක්ෂණය ඔස්සේ ඇසුරු කරද්දී අප වෘත්තීය ක්‍රියාමාර්ග හරහා අතරමග නැවතී දරුවන්ගේ අධ්‍යාපනය උගසට තබමින් සිටින බවත් බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක් වශයෙන් සියළු දෙනා යම් කැපවීමක් කළ යුතු ම බවත් අවධානයට ගෙන තමන් ලද නිදහස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ සිතා වත්මන් දරු පරපුර කෙරෙහි හිතට එකඟ ව ක්‍රියා කරන ලෙස ද මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා නව පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!