විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයට විශේෂ දැනුම් දීමක්

රටේ අනාගතය භාරගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කළේ විශ්වවිද්‍යා‍ල අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉල්ලීම් උදය සෙනවිරත්න කමිටුව හරහා 2025 අයවැයට ඇතුළත් කරන බවට තමා පොරොන්දු වන බවයි.

කෙසේවෙතත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (06) 67වන දිනටත් ක්‍රියාත්මක වනවා.

සිය මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා.

මෙවන් පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ට ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ දැක්වෙන්නේ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පාදක වූ පරිදි මාසික හිලව් දීමනාව අනධ්‍යයන කාර්යමණ්ඩලයට ලබාදිය යුතු බව හා ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පෙනී සිටින බවයි.

නමුත් මෙම අවස්ථාවේදී මෙම ඉල්ලීම් සලකාබැලීම අපහසු බැවින් එම ඉල්ලීම් මීළඟ අයවැයේදී සලකා බැලීමට නියමිත බවයි එහි සඳහන් වෙන්නේ.

එමෙන්ම සේවක වැඩවර්ජනයට සම්බන්ධ වූ සියලුම සේවක කොටස්වලට දඬුවම් ආදී කිසිවක් සිදුනොකරන බවත් එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!