ඩොලර් මිලියන හතරක ඉන්සියුලින් සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉන්දීය සමාගමකට.

දියවැඩියා රෝගීන් සඳහා භාවිත කරන බයිපසික් අයිසොෆේන් ඉන්සියුලින් (Biphasic Isophane Insulin) එන්නත් වයල් 2,700,000ක් මිලදී ගැනීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයටහිස්ස ඉදිරිපත්කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට අනුමැතිය හිමිව් ඇත.

අදාළ ඖෂධ තොගය සැපයීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු දෙකක් ඉදිරිපත්ව ඇත . එකී ලංසු දෙක ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත ඉන්දියාවේ M.J. Biopharm Private Limited සමාගමෙන් එම ඉන්සියුලින් තොගය ලබාගැනීමට තීරණය කර ඇත .

අමෙරිකානු ඩොලර් මිලියන 4.293ක මුදලකට එම ඖෂධ තොගය මිලදී ගැනීමට නියමිතය.