මත්පැන් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළයාමට සාපේක්ෂව සියලුම මත්පැන්වල මිල ගණන් 1 වැනිදා සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන තිබේ.
හිස් බෝතල් නිෂ්පාදනය කරන සමාගම විසින් සිය පිරිවැය ඉහළ ගොස් ඇති බව කියමින් මිලිලීටර් 750ක හිස් බෝතලයකට රුපියල් 160ක මුදලක්ද මිලිලීටර් 375ක භාග බෝතලයක් සඳහා රුපියල් 140ක්ද, මිලිලීටර් 180ක කාල බෝතලයක් සඳහා රුපියල් 109ක මුදලක්ද වශයෙන් අය කරන ගාස්තුව ඉහළ දමා ඇතැයි මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි.
ඒ අනුව මෙරට වැඩිම අලෙවියක් සහිත ගල් අරක්කු බෝතලයක් සඳහා වයින් ස්ටෝර්ස් මගින් මෙතෙක් අය කළ රුපියල් 60ක තැන්පතු මුදල රුපියල් 100 දක්වාත්, භාග බෝතලයක් සඳහා අය කළ තැන්පතු මුදල රුපියල් 40 සිට රුපියල් 70 දක්වාද, කාල බෝතලයකට අය කළ රුපියල් 20 ක තැන්පතු මුදල රුපියල් 30 දක්වාද වැඩි කිරීම පියවර ගෙන ඇත.
බෝතල් ආපසු භාර නොගන්නා සමාගම් මත්පැන් මිලටම බෝතල් මිලදී ගන්නට වැය වන අමතර මුදල එකතු කර ඇතැයි ද සමාගම් කියාසිටී.
බෝතල් ආපසු භාර නොගන්නා මත්පැන් මිල ගණන් ද ඒ ආකාරයෙන් ඉහළ දමා එම මුදල පාරිභෝගිකයන් ගෙන් අය කර ගැනීමට සමාගම් පියවර ගෙන ඇත.
ඒ අනුව ගල් අරක්කු බෝතලයක මිලිලීටර 750 ක බෝතලයකට රුපියල් සියයක තැන්පත් මුදලක් සමග බෝතලයක නව මිල රුපියල් 3800 ක් දක්වා වැඩි කර තිබේ. ඉන් රුපියල් 360ක මුදලක් මත්පැන් අලෙවිසලට ලැබෙන අතර වැට් බදු ලෙස රජයට රුපියල් 611ක පමණ මුදලක් අය බවද සමාගම් කියා සිටියි.
සුරා බද්ද ඉහළ නොදැමුවත් හිස් බෝතල් මිලදී ගැනීමට යන මුදල ඉහළ යාම හේතුවෙන් එම මුදල මත්පැන් මිලදී ගන්නා අයගෙන් අය කර ගැනීම හැර විකල්පයක් නැතැයි සමාගම් කියා සිටී.
2022 අර්ථික අර්බුදයෙන් පසුව මෙරට මත්පැන්වල මිල ගණන් සියයට සියයකින් පමණ ඉහළ දමනු ලැබීය.