හබරාදූව පොලිස් වසමේ කොක්ගල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අද (25) දහවල් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පාසල් ළමුන් 10 දෙනෙකු ප්රතිකාර සඳහා කරාපිටිය හා උණවටුන රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
පාසැස් ළමුන් රැගත් බස් රිය බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි. බස් රියේ පසු පස කොටස දුම්රියේ ගැටී ඇති අතර, බස් රියේ රියදුරු සහ කොන්දොස්තර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
උපකාරක පන්ති ගුරුවරුන් හා දෙමාපියන් සමග ළමුන් පිරිසක් අනතුරට පත් බස් රියේ ගමන් කර ඇත. එම පිරිස කොට්ටාව ප්රදේශයේ සිට කොක්ගල පිහිටි මාටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු හා ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
බස් රථයේ සිටි දරුවන් අවුරුදු 14 හා 15 වයස්වල පසුවූ අය බව වාර්තාවේ.
අනතුර සිදුවූ දුම්රිය හරස් මාර්ගය ආරක්ෂිත ගේට්ටු නොමැති අතර, විදුලි ආලෝක සංඥා හා සීදුව ආධාරයෙන් පමණක් ක්රියාත්මක ස්ථානයක් බව වාර්තා වේ .