වසර 38 ක පොලිස් සේවය නිමකර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණගේ ඉදිරි දිවියට සුභපැතුම් එක්කිරීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබේ.
පොලිස් මූලස්ථානයේදී ඊයේ (18) දිනයේ පැවති මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ පවුලේ සාමාජිකයන් ද එක්ව සිටිබව වාර්තා වේ .
1966 සැප්තැම්බර් 11 වන දින උපත ලැබූ අජිත් රෝහණ, කනම්පැල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනයත්, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් හදාරන ලදී. පසුව 1988 මාර්තු 15 වන දින සෘජුවම උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඔහු, සිය මුල්ම පත්වීම ලෙස තිස්සමහාරාම පොලිස් ස්ථානයේ රාජකාරි ආරම්භ කළේය.
පසුව ලුණුගම්වෙහෙර සහ වදුරඹ යන පොලිස් ස්ථානවල සේවය කළ ඔහු, අඟුණුකොළපැලැස්ස සහ වලස්මුල්ල පොලිස් ස්ථානවල ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලැබීය.
1999 වසරේදී සහකාර පොලිස් අධිකාරී නිලයට උසස්වීමේ තරඟ විභාගය සමත් වූ ඔහු, 2005 වසරේදී සුඩානයේත් 2010 වසරේදී හයිටියේත් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා ද එක් විය.
2007 වසරේදී පොලිස් අධිකාරී නිලයට උසස්වී පොලිස් මූලස්ථාන විභාග කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස රාජකාරි කරන අතරතුර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
2012 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයටත්, 2016 වසරේදී නියෝජ්‍ය පොලිස්පති නිලයටත් උසස්වීම් ලැබූ අජිත් රෝහණමහතා, 2021 ජූනි 30 වන දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් විය.
සිය දීර්ඝ සේවා කාලය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය ඇතුළු වගකීම්සහගත තනතුරු රැසක් ඔහු විසින් හොබව ඇත .