දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය කුඩු අවිශ්කගේ සමීපතමයෙක් වන කොස් මල්ලී නම් අපරාධකරුගේ මාමා සහ ගෝලයෙකු විසින් මෙහෙයවා ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි . මින් එක් අයෙක් දෙහිවල වනරතන පෙදෙසේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනා බවත් වාර්තා වේ.
අත්බෝම්බය නිවස තුළට විසිකළ සැකකරු සහ ත්‍රිරෝද රථයේ රියදුරුද පොලිසිය විසින් හඳුනාගනු ලැබ ඇත . එම දෙදෙනාම මේවනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැවින් ඔවුන් සොයා විමර්ෂණ ක්‍රියාත්මක වෙයි.
නිවසට අත්බෝම්බය එල්ල කළ බවට සැකකරන තැනැත්තා අත්තිඩිය මන්ත්රීමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි. ඔහු ගල්කිස්ස පොදු සූසාන භූමියේ මුරකරු ලෙස කටයුතු කළ සංවිධානාත්මක අපරාධකරුවකු වන සැන්ඩෝ නැමැත්තාගේ පියාට වෙඩි තැබීමෙ සිද්ධීයටද සම්බන්ධ බවත්, අගෝස්තු 01 වනදා කුඩු අංජු නැමැත්තාගේ මුදල් අයකැමියා ඝාතනය ද සිදුකර ඇත්තේ ඔහුම බවත් අනාවරණය වී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවන් වන බඩෝවිට අසංක සහ කුඩු අවිශ්කගේ පාර්ශ්ව අතර ආරවුලක් මෙම අත්බෝම්බ ප්‍රහාරයට හේතුවී ඇති බවත්, බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා සැකකරුවන් නැදිමාල ආසිරි මාවත ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයෙන් පිටත්වන ආකාරය දැක්වෙන CCTV දර්ශන මේවන විට පොලිසියට ලැබී ඇතිබවත් වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ඍජු අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායමක් සහ බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ සිදුකරයි.