22 වැනි සංශෝධනය පරදන්න 24 වනදා සජිත් පාරට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැවැන්ත ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන සැප්තැම්බර් 24 වැනිදා කොළඹදී පැවැත්වීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය .

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය 22 වැනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය විනාශ කරමින් තනි පක්ෂ පාලනයක් ඇති කිරීමට උත්සාහ කරන බවත්, එකී උත්සහය පරාජය කිරීම විපක්ෂයේ අරමුණ බවත් ඔහු සඳහන් කළේය .

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබුණද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමට එකී බහුතර බලය යොදානොගත යුතු බවත්, රජයේ මෙම වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා සියලු ප්‍රගතිශීලී ජනතාවගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අද (13) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය .