ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට මිලත් ඉහළ දැමීමට යයි

ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිළ ගණන්වල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින්, ගොඩබෑමේ පිරිවැයට අනුකූලව ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මෙරට ක්‍රියාත්මක විදේශීය පෞද්ගලික ඉන්ධන සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇතිබව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

එම පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව මෙලෙස ඉන්ධන මිල සංශෝධනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති බවත්, එබවින් රජයේ අවධානය ඒ පිළිබඳව යොමුවිය හැකි බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.

LIOC, Sinopec සහ RM Parks ඇතුළු පෞද්ගලික සමාගම්, බටහිර ආසියානු ගැටුම් හේතුවෙන් මුහුදු මාර්ගවල සිදුව ඇති බාධා නිසා ඉහළ යමින් පවතින ගොඩබෑමේ පිරිවැය පිළිබඳව සිය කනස්සල්ල පළකර ඇති බව වෙලඳපොළ ආරංචි මාර්ග පවසයි .

කෙසේවෙතත්, ගොඩබෑමේ පිරිවැය ඉහළ ගියද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරනු ලබන ඉන්ධන සඳහා එම පිරිවැය එකතු නොකිරීමට තීරණය කර ඇතිබව වාර්තා වේ.