කුඩු සළිඳුගේ නඩු ෆයිල් අතුරුදහන් වීම ගැන පරීක්ෂණ ආරම්භ වෙයි .

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩු දෙකක ගොනු දෙකක් අතුරුදහන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් දසදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඒ අතර නිළධාරිනියන් 7 දෙනෙකු ද සිටින බවත් වාර්තා වෙයි .

නඩු ගොනු අස්ථානගතවීම පිළිබඳව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පානදුර දකුණ මූලස්ථාන පොලිසියට පසුගිය 1වනදා සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා පැවසීය .

ඒ අනුව ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත .

අතුරුදන්ව ඇත්තේ කුඩු සලිඳුගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනු දෙකකි .